Analysis
කාබනික පොහොර වෙත මාරු වීම - ගොවීන් කියූ කතා
Jul 17, 2022
මේ ලිපිය කාබනික පොහොරවලට රට මාරුවීම ගැනයි.

අපි අපේ‍්‍රල් මාසයේ දී (ඉන්ධන අර්බුදය දැඩි ලෙස බලපෑමට පෙර) රටේ ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්ක පහේ ගොවීන් සමඟ කතා කරමින් සතියක් ක්ෂේත්‍රයේ ගත කළෙමු. මේවා දිගු කලක් තිස්සේ නොසලකා හරින ලද, දිවයින පුරා පැතිරී ඇති සාමාන්‍ය මිනිසුන්ගේ කතා වේ.

පොළොන්නරුව සහ මැදිරිගිරිය අතර දිගු පාරවල්වල වී වේලීමට දමා ඇති ආකාරය. මෙම ප්‍රදේශවල අස්වැන්න අඩකින් පමණ අඩුවී ඇත.

  • කාබනික ගොවිතැනට මාරු වන්නේ කෙසේද යන්න පිළිබඳව ගොවීන්ට කිසිඳු පුහුණුවක් හෝ නිශ්චිත උපදෙස් හෝ නොලැබිණි
  • බොහෝ තරුණ තරුණියන් වඩාත් ලාභදායී සහ ස්ථාවර විකල්ප වෙත යොමු වෙමින් කෘෂිකාර්මික/ගොවිතැන් ක්ෂේත්‍රයෙන් ඉවත් වේ
  • නාගරික ප්‍රජාවන් සහ නාගරික දුප්පතුන් දැඩි ලෙස පීඩාවට පත්වනු ඇත
  • රජය එක රැයෙන් සිදු කළ පොහොර තහනමේ ප්‍රතිවිපාක දැන් ඉන්ධන අර්බුදය සමඟ එකතු වී ඇත - මෙය ආහාර හිඟයකට මග පාදයි

චාරිකාව

අපි ගිය තැන් මොනවාද?

ඔබ ගොවීන්ගේ ප්‍රශ්න පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ක්ෂේත්‍රය පුරාම අසාර්ථක වීම්

කාබනික ගොවිතැන

විවිධ ප්‍රදේශවලට අනන්‍ය කථා

හම්බන්තොට: 'සංවර්ධන' ව්‍යාපෘති

සමන්තුරේ: ජල සහ අලි සංචලන

වලපනේ: සශ්‍රීක රැවටිල්ලක්

පොළොන්නරුව: නිදන්ගත වකුගඩු රෝගය ‘තද ජලයට’ සම්බන්ධ කිරීම

යාපනය: යුද්ධය, මිලිටරිකරණය සහ පොහොර

හරියට කළ කාබනික වගාව

වෙනත් ගැටලු

නිගමනය

පාද සටහන - කාබනික පොහොර වර්ග

පාද සටහන - කාබනික ගොවිතැන ද සාම්ප්‍රදායික ගොවිතැන ද?

මෙම ලිපිය සඳහා දත්ත

චාරිකාව

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එක රැයෙන් රසායනික පොහොර තහනම් කිරීමෙන් බලපෑමට පත් වූ ගොවීන්ට සවන් දීම සඳහා Watchdog කණ්ඩායම 2022 අපේ‍්‍රල් මුල් සතියේ දී ශ්‍රී ලංකාව පුරා ස්ථාන පහක සංචාරය කරන ලදි.

මෙම ප්‍රතිපත්තිය සැබවින්ම කෙතරම් අදූරදර්ශී සහ බලපෑම් සහගත ද යන්න මෙම ගොවීන්ගේ අත්දැකීම් හරහා මනාව පසක් වේ. වසරකට පමණ පසු රජය මෙම ප්‍රතිපත්තිය ආපසු හැරවීම, බොහෝ ගොවීන්ගේ ජීවනෝපාය අහිමි වීම සහ පසුගිය වසර පුරාවට ඔවුන් මත ඇති වූ පීඩනය නම් ආපසු නොහරවයි. මීට අමතරව, ඔවුන්ට පොරොන්දු වූ වන්දි ද මෙතෙක් ලැබී නොමැත.

ගොවීන් සමඟ අපගේ සංවාදයට පහසුකම් සැලසූ සියලුදෙනාට සහ විශේෂයෙන්ම මෙම ලිපි මාලාව යථාර්ථයක් කිරීමට තම කාලය, අදහස් සහ දැනුම ලබා දුන් ගොවීන්ට අපි ස්තූතිවන්ත වෙමු.

අපි ගිය තැන් මොනවාද?

මෙම කතාවේ මුල් කොටසේ දී අපි රාජපක්ෂ බලකණුවක් වූ හම්බන්තොට ගොවි ජනතාවගේ යථාර්ථය ගවේෂණය කළෙමු. එය රටේ ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශ හරහා ගිය චාරිකාවක ආරම්භක ස්ථානය විය. අපගේ ගමන් මාර්ගය පිළිබඳව ඉක්මනින් කෙටි විස්තරයක් කරමු:

සමන්තුරේ: නැගෙනහිර සහල් බඳුන නමින් හැඳින්වෙන මෙම ප්‍රදේශයේ අස්වැන්න නෙලන කාලය පසු වුණා පමණි. අම්පාර සහ මෙම කුඩා නගරය අතර A31 මාර්ගයේ ඇසට පෙනෙන මානය පුරාවට හිස් කුඹුරු පැතිරී ඇත. මෙරට පළමු වාරිමාර්ග යෝජනා ක්‍රමය වන ගල් ඔයේ අතු ගංගා කුඹුරුවලට ජලය සැපයීම සඳහා පාරට යටින් දිව යමින් තිබුණ ද ඒවා වියළිව පවතී - හේතුව කුමක්දැයි අපි පසුව බලමු. කන්න අතර කාලවල දී අලි ඇත්හු හිස් කුඹුරුවල සැරිසරමින් 'ඉතිරිව ඇති දේ' අනුභව කරති. පට්ටම්පිට්ටි අමුණ නැරඹීම සඳහා අපි මෙම ප්‍රධාන මාර්ගයෙන් බොහෝ දුරක් ඈතට කුඹුරු මැදින් වූ, බොහෝවිට ට්‍රැක්ටර් සහ මෝටර් සයිකල්වලට වැඩිපුර හුරු වී ඇති ගුරු පාරක් දිගේ ගියෙමු. එහි ගොවීහු ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ දිවා ආහාර රැස්වීමකට සූදානම් වෙමින් සිටියහ.

වලපනේ: ඇඳිරි නීතිය පැනවූ විගසම පාහේ අපි හාරගම පාරේ සිට තැන්නහේන්වල කුඹුරු දක්වා දැඩි කඳු නැග්මක් පයින් යමු. මෙම උස් කලාපයේ ලියැදි (terrace) තුළ වගා කරන ලද වී සහ කුඩා එළවළු කොරටු වටකොට කඳු පිහිටා ඇත. මෙම කෙත්, කඳුවල බෑවුම් දිගට සමතුලිත වන අතර යාන්ත්‍රික ගොවිතැන් යන්ත්‍රවලට ඒවාට ප්‍රවේශ විය නොහැක. අතින් වැපිරීම සහ අස්වනු නෙලීමේ සාම්ප්‍රදායික ක්‍රම තවමත් ක්‍රියාත්මක වේ. දේශගුණික විපර්යාස සෙමින් සෙමින් හිස ඔසවන අකාරය පෙන්නුම් කරමින් පසුගිය වසර දහය තුළ මෙම ප්‍රදේශය වඩාත් උණුසුම් වූ බව අපට පවසනු ලැබිණි.

පොළොන්නරුව: උතුරු-මැද පළාතේ භූ දර්ශනය කුඹුරු, එළවළු වගාබිම් සහ ඒවා පවත්වා ගෙන යාමට නිර්මාණය කළ වාරි වැව්වලින් සමන්විත වේ. මැදිරිගිරියේ සහ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ දිගු මාර්ග දිගේ අලුතින් නෙලන ලද වී වේලෙන්නේ දශක ගණනාවක් කෘෂිකර්මාන්තයේ යෙදී සිටි ගොවීන් සිය මතකයන් සිහිපත් කරද්දී ය. මහවැලි වාරි යෝජනා ක්‍රමයේ ඇළවල් මගින් පෝෂණය වූ මෙම කලාපයෙන් ඉහළ නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය රසායනික පොහොර තහනමට ප්‍රධාන හේතුවක් ලෙස ජනාධිපති රාජපක්ෂ සඳහන් කරන ලදි.

යාපනය: අපි මහාමාර්ග හරහා අර්ධද්වීපයට ඇතුළු වීමත් සමඟම අවට වර්ණ සාගරයෙහි ළා නිලෙහි සිට පොළවේ ගුරු පැහැය දක්වා වෙනස් වේ. පලතුරු ගස්, වී සහ දුම්කොළ මෙහි සාරවත් පසෙහි සැතපුම් ගණනක් පුරා පැතිරී යයි. මරුතනර්මඩම්, ඉනුවිල් සහ කන්දරෝඩෙයි (කදුරුගොඩ) හිදී අපට යාපනය වඩාත් ප්‍රසිද්ධ සහ අප ආදරය කරන ආහාර වර්ග කිහිපයක් වගා කරන ගොවීන් හමුවෙයි. තනි කුඩා මාර්ගයක් දිගේ රිය පදවන කෙනෙකුට එක් පැත්තකින් මෙම වගාබිම් ද, අනෙක් පසින් හමුදා මුරකුළුණු සහිත වැටක් ද පෙනෙනු ඇත.

ඔබ ගොවීන්ගේ ප්‍රශ්න පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අප මෙම ලිපියට අදාළ පර්යේෂණ සිදු කර මාසයකට පමණ පසුව රජය රසායනික පොහොර තහනම ඉවත් කරන ලදි. ඒ එය විනාශකාරී ලෙස සහ වැරදි තොරතුරු මත පදනම්ව බලාත්මක කිරීමෙන් වසරකට පසුවයි. සිදුවූ හානිය සඳහා වන්දි ගෙවීම තවමත් සිදුව නැත. පොහොර මිල දැන් තුන් ගුණයකින් වැඩි වී ඇති බැවින් බොහෝ ගොවීන් හට තවමත් පොහොර ලබා ගත නොහැක. ඉන්ධන හිඟයත් මෙයට එකතු කළ පසුව පෙනෙන්නේ ඔවුන් එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ගමන් කරන බවයි.

අප මෑතකදී Watchdog හි උද්ධමන දත්ත නිකුත් කරන ලදි. පසුගිය මාස කිහිපය තුළ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති ආකාරය එයින් පෙන්වයි. මෙම දත්ත සහ ගොවීන් අතර ඇති සම්බන්ධය කුමක්ද?

ශ්‍රී ලංකාවට තමන්ට අවශ්‍ය දේ ආනයනය කිරීමට තරම් විදේශ සංචිත නොමැත. දැනට පවතින තත්ත්වය තුළ අපි අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් වෙත සහන සැලසීම සඳහා ණය මාර්ග සහ නැව් පිටින් පැමිණෙන ආධාර තොග මත විශ්වාසය තබමින් සිටිමු. මෙම සියලු මාර්ග සිඳී ගියහොත් අවශ්‍යතා සපුරාලීමට ගොවීන්ට ඇති හැකියාව මේ වන විට දැඩි ලෙස සීමා වී ඇත. මිල ගණන් තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇත.

මේ සඳහා පැහැදිලිව පෙනෙන විසඳුමක් වනුයේ මෙම ගොවීන් වැනි දේශීය නිෂ්පාදකයින්ට සහාය වීම සඳහා බලශක්තිය සහ සම්පත් යොමු කිරීමයි. මෙවැනි සැලසුම් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන බවක් අපට තවම දැකගත නොහැක.

මීට පෙර ගොවීන් සතුව, වෙළඳපොළට විකිණීමෙන් පසුවත් ඔවුන්ගේ පවුල්වල පරිභෝජනයට ප්‍රමාණවත් තරම් නිෂ්පාදන ඉතිරි වේ. පහුගිය කන්න දෙකේදීම සිදු වූ අස්වැන්නේ පාඩුවත් සමඟ ඔවුන්ට මේ දෙකින් එකක් පමණක් තෝරාගැනීමට දැන් සිදු වී ඇත. අප එදිනෙදා පරිභෝජනය කරන බොහෝ දේවල මූලය ගොවීන්ය. ඔවුන් මුහුණ දිය හැකි, මුහුණ දෙන, ඕනෑම අර්බුදයක් අපට පරිභෝජනය කළ හැක්කේ කුමක්ද කෙසේද යන්න කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිය.

ක්ෂේත්‍රය පුරාම අසාර්ථක වීම්

අප අපේ චාරිකාවේ වැඩි බිමක් ආවරණය කිරීමත් සමඟම බොහොමයක් කතන්දර එකිනෙක හා පැටලිණි. මෙම හදිසි තහනමේ බලපෑමෙන් ක්ෂේත්‍රය පුරාවටම ගොවීන් විනාශයට පත්ව සිටි අතර, බොහෝ දෙනෙක් පාඩු නැතිව බේරී යන්තමින් හෝ ඉන් ගොඩ ඒමට යත්ත දරමින් සිටියහ.

අපේ ගමනාන්ත පහේදීම අපට ඇසුණු පොදු ගැටලු ආවර්ජනය කිරීමක් මෙන්න:

  • රජයේ ඓතිහාසික මැදිහත්වීම - සියලු 'වෙනස්කම්' ඔවුන්ගේ යෝජනා විය

කඩවුණු පොරොන්දු සහ වැරදි ප්‍රතිපත්ති යන ලිපියෙන් අප වසර 80 කට ආසන්න කාලයක් පුරාවට කෘෂිකර්මාන්තයට ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීම සිදු වූ ආකාරය ගවේෂණය කළෙමු. මෙම චාරිකාවේදී අපට හමුවූ ගොවීන් ද තම වගාවන්හි සිදු වූ වෙනස්කම් රජයේ නියෝග මත සිදු වූ ආකාරය අපට පවසන ලදි. ඔවුන්ට අනුව මෙය රජයේ තීරණ හේතුවෙන් සිදු වූ ඕනෑම පාඩුවක් සඳහා රජය පිළිතුරු දිය යුතු බවට වන දර්ශකයක් ද විය.

“1962 දී කවුද අපිට කිව්වේ රසායනික පොහොර සහ දෙමුහුන් බීජ පාවිච්චි කරන්න කියලා? රජය කිව්වේ. දැන් කවුද අපිට කිව්වේ කාබනික පොහොර පාවිච්චි කරන්න කියලා? රජය කිව්වේ. ඒගොල්ලෝ තමා මේ ඔක්කොම තීරණය කළේ. දැන් ඒගොල්ලෝ මේකට වගකියන්න ඕන.” - පට්ටම්පිට්ටි, සමන්තුරේ

  • රජයෙන් සහයෝගයක් සහ පරිපූර්ණ පුහුණුවක් නොලැබීම

අප සංචාරය කළ බොහෝ ප්‍රදේශවලට රජයේ කෘෂිකර්ම නිලධාරීන්ගේ සහයෝගය නොලැබුණු තරම්ය. යාපනයේ සහ වලපනේ වැසි ජලයෙන් වගා කරන ගොවි බිම්වල පමණක් නොව මහවැලි සහ ගල්ඔය වාරිමාර්ග යෝජනා ක්‍රමවලින් පෝෂණය වන පොළොන්නරුව සහ සම්මන්තුරේ යන ප්‍රදේශවල ද මෙය දැකගත හැකි විය. මෙම නිසා වගාව පිළිබඳ නිරන්තර පරීක්ෂා කිරීම් හෝ පොහොර තහනම වැනි බලවත් වෙනස්කම් කළමනාකරණය කර ගැනීම සඳහා සහය දැක්වීම හෝ සිදු නොවීය. බොහෝ ගොවීන් හට ද ලබා දුන් තාක්ෂණික පුහුණුව ප්‍රායෝගිකට වඩා න්‍යායාත්මක බව හැඟී ගොස් තිබිණි.

පොහොර තහනම පිළිබඳව කෘෂි නිලධාරීන් ද ප්‍රසාදයෙන් නොසිටි බව ගොවීහු පවසති. ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී එම නිලධාරීන් උද්යෝගයක් නොදැක්වූ බව ද ඔවුහු පවසති. රජය විසින් පසුගිය වසරේ නොවැම්බරයේ දී නැනෝ නයිට්‍රජන් ද්‍රව පොහොර බෙදා හරින ලද සමහර අවස්ථාවල දී ගොවීන් පැවසුවේ එය කුමන ආකාරයකින්, කුමන ප්‍රමාණයකින්, බෝගයේ ජීවන චක්‍රයේ කුමන අවස්ථාවේ දී භාවිත කළ යුතු ද යන්න පිළිබඳව ඔවුන්ට නිශ්චිත උපදෙස් ලබා නොදුන් බවයි.

“මේ නිලධාරීන් එන්නේ අපිව පුහුණු කරන්න, නමුත් අන්තිමේදී වෙන්නේ අපිට ඒගොල්ලන්ට උපදෙස් දෙන්න වෙන එක! මේ පුහුණුවීම් කරන්න යොදවලා තියන නිලධාරීන් කරන්නේ ඒගොල්ලෝ චක්‍රලේඛයේ නැත්නම් දැන්වීමේ කියවපු දේවල් නැවත අපිට කියන එක විතරයි. අපිට අපේ ප්‍රයෝගික අත්දැකීම් ගැන ප්‍රශ්නයක් තිබුණොත් ඒගොල්ලන්ට ඒවාට උත්තර නැහැ.” - තැන්නහේන්වල, වලපනේ

  • ඉන්ධන ප්‍රශ්න

මෙම පර්යේෂණය කරන කාලය වන විට ඉන්ධන අර්බුදය තවත් උග්‍ර වීමට පටන් ගත්තා පමණි. රසායනික පොහොර මිල දී ගැනීමට විශාල මුදලක් වැය කළ ගොවීන්ට පවා සිය වැඩකටයුතු අතරමඟ නතර කිරීමට සිදු වී තිබුණි. ඉන්ධන ලබා ගැනීමේ ප්‍රමාදය අස්වැන්න නෙලීම ප්‍රමාද කරන අතර ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම තවදුරටත් ප්‍රමාද කළ හැක. මෙයින් අදහස් කරන්නේ වෙළඳපොළට සහ පාරිභෝගිකයා වෙත ළඟා වන නිෂ්පාදන පරිභෝජනයට නොසුදුසු බවයි. ඒත් ඒවා ඔවුන් වෙත ළඟා වුවහොත් පමණි.

“අපිට මේ අස්වනු නෙලන යන්ත්‍රයට ඩීසල් ගන්න පුළුවන් වුණේ නූලෙන්. ඒත් දවස් ගණනක් පෝලිම්වල ඉඳලා. වී පැහිලා වැඩිවෙන කාලයක් එනවා. අපිට තව එක දවසක් බලන් ඉන්න වුණා නම් අපේ ඒ දවස පහුවෙනවා, එහෙම වුණා නම් ඒ අස්වැන්න නෙලන්න වත් කෑමට සුදුසු පරිදි සුදානම් කරන්න වත් බැහැ.” - වෙලන්ගහවෙල, හම්බන්තොට

  • තරුණයින් වේගයෙන් ක්ෂේත්‍රය හැර යයි

වැඩිහිටි ගොවීන් එකඟ වූයේ සෑම වසරකම තරුණ තරුණියන් වැඩි ප්‍රමාණයක් සාම්ප්‍රදායික වෘත්තියෙන් ඉවත් වන බවයි. තහනමෙන් පසුව සහ ආර්ථික අර්බුදය හේතුවෙන් දැන් ඔවුන්ගේ දුෂ්කරතා උග්‍රවීමත් සමඟ මෙහි වේගය දෙගුණයක් වී ඇත. තරුණ පිරිමි සහ ගැහැනු විවිධ රැකියා මාලාවක් තෝරාගන්නා අතර මාසික වැටුපක් ලබා ගත හැකි රැකියා සොයා ළඟම ඇති නගරවලට, කොළඹට හෝ විදේශයන්ට හෝ පවා සංචරණය කරති.

2013/14 දී පවත්වන ලද නවතම ආර්ථික සංගණනයේ සංඛ්‍යාලේඛන මගින් මෙය සනාථ වේ. අප සංචාරය කළ සියලුම ප්‍රදේශවල ගොවීන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 50 ට වැඩි අය වූහ. 2013/14 ආර්ථික සංගණනයට අනුව මෙය වඩාත් කැපී පෙනෙන්නේ යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ ය; එහි ගොවීන්ගෙන් 66% ක් වයස අවුරුදු 50 ට වැඩි අය වේ.

“ඉස්සර තරුණ පිරිස අතර ගොවිතැන ගැන යම් උනන්දුවක් හරි තිබුණත් රසායනික පොහොර තහනම එය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාල තියෙනවා. ඔවුන්ට යම් තිරසාර ජීවිතයක් ඕන, දැන් ගොවිතැන වෙන කවරදාටත් වඩා තිරසාර නැහැ. නමුත් ගොඩක් තරුණයින්ට ගොවිතැන හැර වෙනත් අදායම් උපයන මාර්ගයක් නැහැ. මේකට හේතුව වෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම නැත්නම් වයසක ඥාතීන්ව රැකබලා ගැනීමට සිදු වීම වෙන්න පුළුවන්. මේ නිසා තවත් පරම්පරාවක් වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම කියන එකේ හිරවෙනවා.” - කන්දරෝඩෙයි (කදුරුගොඩ), යාපනය

  • නිසි අයුරින් කළා නම් කාබනික පොහොර සාර්ථක විය හැකිව තිබුණි

අප සමඟ කතා කළ කිසිම ගොවියෙකු කාබනික වගාව පිළිබඳ අදහසට විරුද්ධ නොවුණි. නමුත් රජය එක රැයකින් ගත් තීරණය පිළිබඳව ඔවුහු කෝපයට පත්ව සිටියහ.

බොහෝ දෙනා විශ්වාස කළේ ක්‍රියාවලිය සෙමෙන් ක්‍රියාත්මක කළා නම් ඔවුන්ට අනුවර්තනය වීමට කාලය ලැබෙනු ඇති බවත්, ආදායමේ සීඝ්‍ර පහත වැටීමෙන් ඔවුන්ව ආරක්ෂා වනු ඇති බවත් ය.

“අපි දන්නේ නැහැ, කාබනික ක්‍රමවේදවලට සෙමින් මාරු වීම වැඩ කරන්න තිබුණා. නමුත් එක රැයෙන් කළ වෙනස්වීම අපව අතරමං කළා, ඒක හරියට එක පාරින් ඔයාගේ බෙල්ල කපලා දානවා වගේ වැඩක්.” - මැදිරිගිරිය, පොළොන්නරුව

කාබනික ගොවිතැන

මෙම අත්දැකීම්වලට සවන් දීමෙන් පසුව අපට ප්‍රශ්න රාශියක් ඉතිරි විය. සැබවින්ම ප්‍රහේලිකාවක් වූයේ ජනාධිපතිවරයාගේ සැලැස්මේ ප්‍රතිඵලයක් ලෙස සම්පූර්ණයෙන්ම කාබනික නිෂ්පාදන ලබා ගැනීමට ඇත්තටම හැකියාව තිබුණා ද යන්නයි.

දැනට වසර 60 ක සිට රටපුරා ගොවීහු වගා කටයුතු සඳහා රසායනික පොහොර භාවිත කරති. අපට හමු වූ බොහෝ දෙනෙකු පැවසුවේ දිගින් දිගටම භාවිතය පසට නිශ්චිත බලපෑමක් ඇති කරන බවයි - පස දැන් ඵල දැරීමට නම් රසායනික ද්‍රව්‍යය අවශ්‍ය වන තරමට එයට 'පුරුදු' වී ඇත. එමනිසා, ඔබ එක් කන්නයක දී රසායනික ද්‍රව්‍ය අඩු කිරීම හෝ ඉවත් කිරීම හෝ සිදු කළ ද පස ස්පොන්ජියක් මෙන් ඒ සියල්ල අවශෝෂණය කරගෙන ඇති නිසා, සමහර රසායනික ද්‍රව්‍ය තවත් කන්න කිහිපයක් යනතෙක් ඉතිරි වේ. එක රැයකින් රසායනික ද්‍රව්‍ය භාවිතය නතර කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටීම සහ ඉන්පසුවත් අස්වැන්න එලෙසම පවතිනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵල ය.

මතු වූ තවත් ප්‍රශ්නයක් නම් ගොවීන් තවමත් කොම්පෝස්ට් භාවිතයෙන් වගා කිරීම සඳහා දෙමුහුන් ඉහළ ඵලදාවක් ලබා දෙන බීජ වර්ග [hybrid high-yielding varieties] භාවිත කරන බවයි. අප කතා කළ සියලුම ගොවීන් විශ්වාස කළේ මෙහි මූලික නොගැලපීමක් ඇති බවයි. විශ්වාස කළා පමණක් නොව, ඔවුන්ගේ භාවිතයේ දී ඔවුන් එය අත් දැක ද ඇත.

“කොම්පෝස්ට් පොහොර දැම්මහම දෙමුහුන් බීජ හරි හමන් ඵලදාවක් දෙන්නේ නැහැ. සම්ප්‍රදායික බීජ රසායනික පොහොර දැම්මහම හරි හමන් ඵලදාවක් දෙන්නේ නැහැ. ඔවුන් අපිට කොම්පෝස්ට්වලට ගැලපෙන බීජ හරි දුන්නා නම් සමහරවිට මොකක් හරි වැඩ කරන්න තිබුණා.” - හම්බන්තොට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ ඇතුළු ප්‍රමුඛ පෙළේ කෘෂි විද්‍යාඥයන් කාබනික ගොවිතැන් ප්‍රතිපත්තියට හේතුව කුමක්දැයි ප්‍රශ්න කර ඇත. අපගේ පොඩ්කාස්ට් වැඩසටහන වන The Doghouse හි දී මහාචාර්ය මාරඹේ ඉස්මතු කර දැක්වූයේ කාබනික ගොවිතැන සමහරවිට විදේශ විනිමය උපයන මාර්ගයක් ලෙස ප්‍රවර්ධනය කළ හැකි නමුත්, සමස්ත රටේම ආහාර සුරක්ෂිතතාව සඳහා ඒ මත බලාපොරොත්තු තබා ගැනීම නුවණට හුරු නොවන බවයි.

විවිධ ප්‍රදේශවලට අනන්‍ය කථා

මෙම සමානකම් මෙම කතාව ගොඩනැගී ඇති පදනම සාදයි. ගෝඨාභය රාජපක්ෂ රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණය රට පුරා සිටින වගාකරුවන්ට විනාශකාරී බලපෑමක් ඇති කරන ලදි. කෙසේ වෙතත්, ව්‍යසනය හා බැඳුනු මෙම සාමාන්‍ය තත්ත්වය තුළ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට වෙනස් වන සියුම් විස්තර ද ඇත.

මූලික ස්ථරය සැමටම පොදුව තිබුණ ද, තහනම පිළිබඳ ගොවීන්ගේ අත්දැකීම් ඔවුන්ගේ ප්‍රදේශය, ඔවුන්ගේ වගාකරන බෝග සහ ඔවුන් ජීවත් වන ප්‍රදේශයේ දේශපාලනය මත පදනම් වූ බව ද සැලකිල්ලට ගැනීම වැදගත්ය.

හම්බන්තොට: 'සංවර්ධන' ව්‍යාපෘති

වටේට කුඩා එළවළු පාත්තියක් ඇති කුඹුරු යායක් හරහා ඇවිදිමින් සිටිමු. මෙම මිශ්‍ර වගා ක්‍රමය ගොවීන් තම ආදායම උපරිම කර ගැනීමට හෝ අඩුම තරමින් තම පවුලේ ආහාර වේල සරිකර ගැනීම සඳහා හෝ ගන්නා උත්සාහයකට උදාහරණයකි. ඈතින් අපට පෙනෙන්නේ කුඹුරු අතරින් දිග හැරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයයි. අධිවේගී මාර්ගය නිසා මෙම සුවිසල් කුඹුරු දෙකට බෙදීමත් සමඟම අක්කර ගණන් වගාවන් අඩු වී ඇත. අධිවේගී මාර්ගය මහජනතාවට විවෘත කර වසර දෙකක් ගතවී ඇතත් බොහෝ ගොවීන්ට වගා බිම් අහිමි වීම වෙනුවෙන් පොරොන්දු වූ වන්දිය තවමත් ලැබී නැත. අප කතා කළ ගොවීන් අතරින්, ඔවුන්ගේ ගම් සහ සංගම් ජාලය පුරාවට, තමන්ට ලැබිය යුතු වන්දි මුදලින් කොටසක් හෝ ලබාගෙන ඇතැයි ඔවුන් දැන සිටියේ එක් අයෙකුව පමණි.

“අධිවේගී පාර දැම්මත් එක්කම අපිට ගොඩක් ගොවි බිම් අහිමි වුණා. දැන් අර වන්දි ලැබුණයි කියලා අපි දන්න මනුස්සයටත් ලැබිලා තියෙන්නේ එයාට ලැබෙන්න ඕන මුදලෙන් සුළු කොටසක් විතරයි. ගොඩක් ගොවීන්ට සතයක්වත් ලැබිලා නැහැ.”

සමන්තුරේ: ජල සහ අලි සංචලන

මහ කන්නය අවසන් වීමත් සමඟම සමන්තුරේ කුඹුරුවල අස්වැන්න මෑතක දී නෙලා ඇති අතර යල කන්නයේ වගාවට සූදානම් වීම ප්‍රමාද වී ඇත. කුඹුරු සීසෑමට ට්‍රැක්ටර්වලට ඉන්ධන නොමැති බැවින් ජලය නිකුත් නොකරන ලෙස ගොවීන් වාරිමාර්ග නිලධාරීන් හට දැනුම් දී ඇත.

සේනානායක සමුද්‍රයේ සිට ජලය ගලා යන ඇලවල් බොහෝ දුරට වියලි සහ වැලි සහිත විය. ගොවීන් විසින්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවසා තිබුණේ තමන්ට ජලය ලබා නොදෙන ලෙසයි. ඔවුන් බලා සිටින කාලය දිගුවන තරමට, කාලගුණික රටා වගා කන්නයේ ප්‍රධාන මංසලකුණු සමඟ නොගැලපීම වැඩිවන අතර එමඟින් තවත් අස්වැන්නක් විනාශ විය හැකිය.

“වතුර අරගන්න එකේ තේරුම මොකක්ද? කුඹුරු සූදානම් කරලා නැහැ. දැන් වතුර ගන්න එක අපරාදයක්. මුළු කන්නෙම වෙනස් වෙනවා. බෝග වැවෙන හැටි, කාලගුණය වෙනස්වන හැටි හැමදෙයක්ම එකිනෙකට ගැලපෙනවා, නමුත් දැන් අපිට වැඩක් ඇති දෙයක් වවන්න පුළුවන් වෙයිද කියන එක කියන්න අමාරුයි.”

බොහෝ ප්‍රදේශවල යම් ආකාරයක බෝග මාරුවක් සිදු කරයි. සහල් වගා කිරීමෙන් පසු අනෙකුත් ප්‍රදේශවල ගොවීන් සාමාන්‍යයෙන් කන්නයේ දී වී සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝගවලට මාරු වේ. නමුත් අලි ඇතුන්ගේ සංචලන රටාව නිසා සමන්තුරේ ගොවීන්ට මෙය සිදු කළ නොහැකියි.

නැගෙනහිර වගා තීරයේ පුළුල් විවෘත කෙත් මෙම ගොවි ගම්මාන වටා ඇති සියලුම වනජීවී රක්ෂිතවල වාසය කරන අලි ඇතුන්ට තෝතැන්නක් වේ. අලි ඇතුන් සමඟ වසර ගණනාවක් ගතකිරීමෙන් අදහස් කරන්නේ ඔවුන් ද වගා චක්‍රවලට හුරුපුරුදු බවයි. ජලය මුදා හැරීමට සති තුනකට පෙර බීජ පැල පොළොවේ සිටුවනු ලැබේ. නමුත් මෙම බුද්ධිමත් ජීවීන් වගාව ආරම්භ වූ පසු කුඹුරට නොයයි. ඔවුන් පිදුරු කෑමට හෝ අස්වැන්න නෙලීමෙන් පසු කුඹුරේ ඉතිරි වී ඇති දෑ කෑමට හෝ පමණක් කන්න අතර දී සංචාරය කරයි.

වන අලි අවදානම හේතුවෙන් ගොවීන්ට උර කන්නයේ දී වෙනත් කිසිඳු බෝගයක් සිටුවීමට නොහැක.

යාල සහ ලුණුගම්වෙහර ජාතික වනෝද්‍යාන වෙන්කරමින් දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දැවැන්තයෙක් - 2020 ජූලි ඡායාරූපය: නඩීම් මජීඩ්

වලපනේ: සශ්‍රීක රැවටිල්ලක්

ගෙදරදීම කොම්පෝස්ට් නිෂ්පාදනය කරගැනීම සඳහා කළු මල්ලි වැනි ගොවීහු රුපියල් 650,000 කට පමණ කොම්පෝස්ට් යන්ත්‍ර මිලදී ගත්හ. කෙසේ වෙතත්, යම් කොම්පෝස්ට් ප්‍රමාණයක් ලබාගැනීමට දැමිය යුතු අමුද්‍රව්‍ය ප්‍රමාණය ඉතා ඉහළ ය. ඔහුගේ ගොවිපලෙන් පහසුවෙන් ලබාගත හැකි ශාක පත්‍ර වැනි කාබනික ද්‍රව්‍යවලට අමතරව කුකුළු පොහොර සහ වෙනත් ආකලන ද්‍රව්‍ය මිලදී ගැනීමට ද ඔහුට සිදුවේ. මේ සියල්ල කිරීමට ඔහුට සිදුවන්නේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන ලබා ගැනීම නම් දැවැන්ත කාර්යයට එළඹීමට පෙර ය. ඔහුට සහ අනෙකුත් ගොවීන්ට යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය පියවා ගැනීම සඳහා පමණක් තම රත්‍රන් සහ භාණ්ඩ උකස් කිරීමට සිදුව ඇත.

“අපි කොහොමත් කැලේට වැවෙන ගංසූරිය කොළ සහ පරම්පරාවෙන් පරම්පරාවට අපිට ලැබුණු සම්ප්‍රදායික කොම්පෝස්ට් ක්‍රම භාවිත කරනවා. නමුත් කාබනික පොහොර කිලෝ එකක් නිපදවන්න කාබනික ද්‍රව්‍ය කිලෝ තුනක් ඕන. මේ ක්‍රම සෑමවිටම භාවිත වුණේ රසායනික පොහොරවලට අතිරේකයක් විදිහට විතරයි. ඒවා විතරක් දැම්ම කියල ඒවගෙන් ඵලදාව වැඩි වෙන්නේ නැහැ.”

රජය විසින් සපයනු ලබන කාබනික පොහොර ඔහු හඳුන්වන්නේ ‘දියාරු පොහොර' ලෙසයි, එය වී සඳහා පමණක් භාවිත කළ හැකි ජලය දැමූ ද්‍රව්‍යයකි. තහනමෙන් පසු මෙහි මිල රු. 450 සිට රු. 4,500 ක් දක්වා වැඩි වී ඇත. එය මිලදී ගැනීමට යන වියදම ඔහු දරයි. එය අත්‍යවශ්‍යයි, ඔහු පවසයි; ඔහු නිවසේ දී නිපදවන කොම්පෝස්ට් පමණක් භාවිත කළහොත් ඔවුන්ට ලැබෙන කුඩා අස්වැන්නවත් ඔවුන්ට නොලැබෙනු ඇත.

ප්‍රදේශයේ කඳුකරයේ ඇවිද යන විට ඈතට දිවෙන කොළ පැහැති මුහුදක් අපව මවිතයට පත් කරයි. ක්ෂිතිජයේ කඳුවලින් වටවුණු දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත වී කට්ටි සියලු අභියෝග මධ්‍යයේ වුවද සශ්‍රීක ස්වභාවයක් පෙන්වයි. කෙසේ වෙතත්, අපට වටපිටාව පෙන්වන සෙනෙවි නම් ගොවියා අපෙන් සමීපව බලන ලෙස ඉල්ලා සිටී.

“හරිනම් මේ කාලය වනවිට ගොයම මීට වඩා උස ගිහින් තියෙන්න ඕන. මගේ ඉන ගාවට විතර. ඔව් ඒවා කොළපාටට සරුවට පේනවා තමයි, නමුත් පොඩ්ඩක් කිට්ටු වෙලා බලන්න, වී කරල් කීයක් පේනවද කියල මට කියනවද?”

“මේ ඔක්කොම කොළපාට අතරේ තියෙන ඇට සහිත වී කරල් ගාන අතක ඇඟිලිවලින් ගණන් කරන්න පුළුවන්. ඒවගේම අපිට පොහොර ලැබුණේ පරක්කු වෙලා හින්දා වාරය මාරු වෙලා තියෙන්නේ, ඒ කියන්නේ දැන් ගොයම තියෙන්නේ එක තද වැස්සක් ආවොත් අපිට ඵලදාව අහිමි වෙන තත්ත්වෙක. මට හිතෙන්නේ තව දවස් කිහිපෙකින් වහීවි.”

පොළොන්නරුව: නිදන්ගත වකුගඩු රෝගය ‘තද ජලයට’ සම්බන්ධ කිරීම

බහුලව පැතිරී ඇති හේතුවක් නොදන්නා නිදන්ගත වකුගඩු රෝගය රසායනික පොහොර භාවිතය නැවැත්වීමට හේතුව ලෙස ජනාධිපති රාජපක්ෂ සඳහන් කරන ලදි. නිදන්ගත වකුගඩු රෝගය බහුලවම පවතින මෙහි ගොවීන් පවසන්නේ එය රෝගයට එකම හේතුව නොවන බවයි. ජලයේ ගුණාත්මකභාවය ද ප්‍රධාන සාධකයකි - ජලධරවල බැර ලෝහ සහ ඛනිජ ලවණ තිබීම මත පදනම්ව කලාපයෙන් කලාපයට ජලයේ ගුණාත්මකභාවය වෙනස් වේ.

ජලධරයක් යනු භූගත ජලයෙන් සංතෘප්ත වූ සිදුරු සහිත පාෂාණ හෝ අවසාදිත හෝ ස්කන්ධයකි. වර්ෂාපතනය පස හරහා කාන්දු වන විට භූගත ජලය ජලධරයකට ඇතුළු වේ. එයට ජලධරය හරහා ගමන් කළ හැකි අතර උල්පත් සහ ළිං හරහා නැවත මතු වේ.

නිදන්ගත වකුගඩු රෝගය රෝගය වැළඳීම සඳහා 'තද ජලයට’ කාර්යභාරයක් පැවරී ඇති බව ඔවුන් අපට පැවසීය. පොහොර සහ නිදන්ගත වකුගඩු රෝගය අතර සම්බන්ධය හේතුකාරක වූයේ නම් ඔවුන් සියල්ලන්ටම රෝගය වැළඳීමට ඉඩ තිබූ බව ද ඔවුහු සඳහන් කරති.

“අපිට අපේ සහල් විශ්වාසයි. ඔවුන් කියනවා නිදන්ගත වකුගඩු රෝගයලු. අපිට කියනවා කාබනික වගාව කරන්නලු. ඊට පස්සේ වෙන රටවලින් සහල් ගෙන්නනවා. අපි දන්නවද ඒ සහල් කබනික ද කියල? නෑ අපි දන්නේ නෑ. අපේ තාත්තලත් නිදන්ගත වකුගඩු රෝගයෙන් මැරුණා, නමුත් අපි දන්නවා ඒක හැදෙන්නේ පොහොරවලින් විතරක් නෙමෙයි කියලා. ඒ වුණාට මට පෙන්නේ මේ දවස්වල නම් නිදන්ගත වකුගඩු රෝගයෙන් මැරෙන එක හොඳයි කන්න නැතුව මැරෙනවට වඩා.”

2018 වර්ෂයේ දී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ එක්ව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ - ඔහුගේ මැතිවරණ කොට්ඨාසයේ - කාබනික ගොවිතැන පිළිබඳ වසරක ව්‍යාපෘතියක් ආරම්භ කළේය. තෝරාගත් ගොවීන් වසරක කාලයක් තුළ කොම්පෝස්ට් නිෂ්පාදන ස්ථාන සහ හරිතාගාර නැරඹීම සඳහා සහ පුහුණු කිරීම් සඳහා රැගෙන යන ලදි. ඔවුන් කාබනික ක්‍රියාවලියේ සෑම අදියරක් පිළිබඳවම පුහුණුව ලබා ඇත. බොහෝ ප්‍රදාන-අරමුදල් භාවිතයෙන් කරන ව්‍යාපෘතිවලට සිදුවන පරිදි අවසානයේ දී එම වැඩසටහන නතර විය. “මේ සැරේ පොහොර තහනම වෙලාවේ කරපු උපකාරවලට වඩා ඒ වැඩපිළිවෙළ ප්‍රයෝජනවත් වුණා” යැයි ඔවුහු පවසති.

“මම එම පුහුණුවෙන් පස්සේ මගේ වගාවෙන් 50% ක් කාබනික වගාවට මාරු කළා. අපේ ගොඩක් අය එහෙම කළා. ඇත්තටම ප්‍රතිඵලයක් දකින්න ටික කාලයක් යනවා, නමුත් මට ඒක තහනම කාලෙදි උදව් වුණා. මට විකුණගන්න වගේම ගෙදර ගෙනියන්නත් යමක් ලැබුණා.”

යාපනය: යුද්ධය, මිලිටරිකරණය සහ පොහොර

අර්ධද්වීපයේ වගා බිම් හරහා රිය පදවමින් අපි එම ප්‍රදේශයේ බෝග විවිධත්වය නිරීක්ෂණය කරමු - රතු පසෙන් මිදි, ළූණු, දුම්කොළ, වී, කෙසෙල් සහ අඹ ගස් වර්ධනය වේ.

එළවළු කොටුවක වැට මත දුම්කොළ වේලීමට දමා ඇත. මෙම ඡායාරූපයේ දැක්වෙන ගොවියා අලුතෙන් ළූණු වගාවක් සිටුවමින් සිටියි. එසේ කිරීමට එය “හොඳ කාලයක්” බව ඔහු කියයි, ඒ මේ දිනවල ළූණු සඳහා ඔවුන්ට හොඳ මිලක් ලැබෙන නිසාය.

කුඩා එළවළු කොටු අතර විශාල දුම්කොළ වගාබිමක් විවෘත වේ. ගොවියා කියන්නේ දුම්කොළවලට වැඩි මිලක් ලැබෙන නිසා දැන් වැඩි පිරිසක් දුම්කොළ වගා කරන බවයි. අතරමැදියන් එක් දුම්කොළයක් රු. 100 කට මිලදී ගනී. කතා කරන අතරතුර අපි ඔහුගෙන් යුධ සමයට සාපේක්ෂව දැන් ඔහුගේ අත්දැකීම කෙබඳු ද කියා අසමු.

ඔහු සිනාසෙයි.

“අඩුම ගානේ යුද්ධ කාලේ අපිට පොහොර ටික හරියට ලැබුණා. වවුනියාවේ කෘෂි කාර්යාලවලින් අපිට නිතරම පොහොර එවුවා, ඒක නිසා අපේ ගොවිතැන කරගෙන යන්න අපිට පුළුවන් වුණා.”

දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ තථ්‍ය පාලනය ක්‍රියාත්මකව තිබිය දී ශ්‍රී ලංකා රජයේ කාර්යාල විසින් උතුරට පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීය. එල්ටීටීඊ සංවිධානය කලාපයේ නිෂ්පාදනය කරන ලද ආහාර බෙදා හැරීම මෙහෙයවීය.

අපි වලිකාමම් බටහිර කලාපයේ ජීවත් වන සහ වගා කරන ගොවීන් සමඟ කතා කළෙමු. යමෙක් මදක් උතුරට ගමන් කළහොත් අවසානයේ දී පැමිණෙන්නේ පලාලි - කන්කසන්තුරේ අධිආරක්ෂිත කලාපයේ දොරටු අසලටය. එහි සමහර කොටස් ඒවායේ සිවිල් අයිතිකරුවන් වෙත මුදා හැර තිබුණ ද අර්ධද්වීපයේ මෙම ප්‍රමාණයෙන් විශාල කොටස තවමත් හමුදා පාලනය යටතේ පවතී. දැන් අවතැන් වී සිටින දෙමළ පවුල් කලක් වාසය කර වගා කරන ලද සාරවත් භූමියෙන් වැඩි ප්‍රමාණයක් මෙම කලාපයට අයත් වේ.

රජය විසින් නිර්මාණය කරන ලද අර්බුදයට ප්‍රතිචාරයක් ලෙස ගෙවතු වගා සංකල්පය රජය ප්‍රචලිත කරන කාලයක උතුරු පළාත පුරා පවතින මෙම තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වේ. අඛණ්ඩ හමුදාකරණය හේතුවෙන් බොහෝ දෙනෙකු සතුව ස්ථාවර නිවාස සහ වතු නොමැත - එසේ තිබුණා නම් මෙම අර්බුදය කාලයේ දී ඒවා ඔවුන්ව නඩත්තු කරනු ඇත. මිනිසුන්ගේ තුවාලවලට ලුණු එකතු කරමින් හමුදාව තමන් අල්ලාගෙන සිටින ඉඩම්වල වගා කටයුතු සිදු කරයි. ගොවීන් අපට පවසන්නේ හමුදාව විසින් එම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට අලෙවි කරන බවයි.

මෙය පළාත පුරා අනෙක් අය විසින් ද ප්‍රතිරාවය කරන ලද විලාපයකි. මෙම අවතැන් වූ ප්‍රජාවන් බොහෝමයක් වසර ගණනාවක් මුළුල්ලේ එක දිගට තම ඉඩම් ඉල්ලා උද්ඝෝෂණ කරන බැවින් එය යුක්තිය ඉල්ලා කෑගැසීමක් ද වේ.

“දැන් හමුදා කඳවුර ඇතුළේ තියෙන අපේ ඉඩම්වල අපි රැක බලාගත්ත ගස් සහ අපි වගකරපු වතු තියෙනවා. අපි ඒවගෙන් ගෙඩි කඩාගෙන කෙලින්ම කෑවා. අපිට ඒ ගස් තිබුණ නම් ජීවත් වෙන්න, අපිට අපේ ඉඩම් ආපසු ලැබුණා නම් අපිට මේ අර්බුදයෙන් බේරෙන්න තිබුණා.”

හරියට කළ කාබනික වගාව

පොළොන්නරුවේ සිටිය දී, අපි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගවලින් මායිම් වුණු කුඩා මාර්ගවලට පිවිසුණෙමු. අපි එම්. කේ. ජයතිස්ස - කවුඩුල්ලේ ජයතිස්ස හෝ කෙනෙකු ඔහුව දන්නා ආකාරය අනුව ජයතිස්ස මාමා මුණගැසෙමු. කාබනික ගොවියෙකු සහ ප්‍රජා සංවිධායකයෙකු වන ඔහුට වගාව පිළිබඳව මෙන්ම මෙම ගැටලු සම්බන්ධයෙන් මහජනයා බලමුළු ගැන්වීම පිළිබඳව ද වසර ගණනාවක දැනුමක් ඇත. 1960 ගණන්වල දී තම පියාට සහ ඔහුගේ සමකාලීනයන්ට රසායනික පොහොර සහ දෙමුහුන් වැඩි ඵලදාවක් දරන බීජ හඳුන්වා දුන් විට සිදු වූ වෙනස දකිනු ඔහුට මතකයි.

ජයතිස්ස සහ ඔහුගේ බිරිඳ රාණි දැනට දශක තුනකට ආසන්න කාලයක් පුරාවට තම ඉඩමේ සම්පූර්ණ කාබනික නිෂ්පාදන වගා කර ඇත. ඔවුන් මුලින්ම මාරු වූ විට ගොවිපල ප්‍රතිඵල පෙන්වීමට වසර කිහිපයක් ගත් බව ඔහු පැවසීය. වල් පැලෑටි, වර්ෂාව සහ ඵලදාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් තවමත් පැය ගණනක් කැපවී සිටිය යුතු බව රාණි පැහැදිලි කරයි. "මම පටන් ගන්නකොට මිනිස්සු හිතුවේ මට පිස්සු කියලා" ජයතිස්ස කීවේය, නමුත් දැන් කුඩා ගොවිපල සෞඛ්‍ය සම්පන්න, දේශීය, සමෘධිමත් ඵලදාවක් නිෂ්පාදනය කරයි. ඔවුහු විවිධ පෝෂණ ගුණයෙන් අනූන ධාන්‍ය වර්ග, එළවළු සහ පලා වර්ග වගා කරති.

“අපි වාරයට සහ වහින වැස්සේ ප්‍රමාණයට අනුව විවිධ දේ වගා කරනවා. අපි මුකුත් වගා කරන්නේ නැති කාලයක් අවුරුද්දේ නැහැ. ගහකින් කඩාගෙන ඕන වෙලාවක අපේ කෑමට එක් කරගත හැකි දෙයක් අපිට සෑම විටම තියෙනවා.”

“අපි වගා කරන, අස්වද්දන සහ ගබඩා කර තබාගන්නා සම්ප්‍රදායික සහල් වර්ග පහක් පමණ තියෙනවා. කුඩා ළමුන් සහ වැඩිහිටියන් ඉන්න පවුල් අපෙන් මේ සහල් වර්ග මිලදී ගැනීමට දුර ගෙවන් මෙහෙ එනවා, ඒ ඒවායේ ඇති සෞඛ්‍යමය ප්‍රතිලාභ නිසායි.”

ඔවුහු දේශීය බීජ ද භාවිත කරති, ඒවායින් බොහොමයක් ඔවුන් විසින්ම සංරක්ෂණය කර වගා කිරීමට ඉගෙන ගත් ඒවායි. ඒවා දෙමුහුන් වැඩි ඵලදාවක් ලබාදෙන බීජ නොවේ - ඔවුන් මහා පරිමාණ වගාවක් කරන්නේ නැත. ගොවිපල, සාපේක්ෂව කුඩා එකක් වන අතර අක්කර කිහිපයකි. ඵලදාව ඔවුන් දෙපළ, ඔවුන්ගේ දරුවන්ගේ පවුල් සහ ඔවුන් අවට ප්‍රජාව තුළ විශාල සංඛ්‍යාවක් පෝෂණය කරයි. එය අප දැනට වැඩිපුරම දකින වත්මන් මහා පරිමාණ ගොවිතැන අනික් පස ගැසීමකි.

ජයතිස්ස සහ රාණි යනු ශ්‍රී ලංකාවේ කාබනික වගාව නම් විශාල ජාලයේ එක් ඒකකයකි. අපට ඔවුන්ගේ අත්දැකීම් සැමගේම අත්දැකීම් යැයි සාමාන්‍යකරණය කළ නොහැක, නමුත් පරිමාණය සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව දැනගැනීමට ඉදිරියට කියවන්න.

කාලයත් සමඟ තහනමට මුහුණ දීම සඳහා තවත් ගොවීන් දැනුමෙන් සන්නද්ධ කළ හැකිව තිබූ බව ඔහු පවසයි. දිගුකාලීනව එය ඔවුන් වගා කරන හා අනුභව කරන දේ විවිධාංගීකරණය කිරීමේ වඩා තිරසාර ක්‍රමයක් විය හැකිව තිබුණි. එහෙත් ගොවීන්ට එවැනි පුහුණුවක් ලබා නොදුන් බව අපට පැවසූ තවත් බොහෝ අය කියූ දෙය ඔහු ද නැවත ප්‍රතිරාවය කරයි. “මිනිසුන් මරන්නේ කොහොමද කියන එක සොල්දාදුවන්ට උගන්නන්න ඉස්කෝල තියෙන රටක, ගොවීන්ට ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කරගන්න ඉස්කෝල නැහැ.”

වෙනත් ගැටලු

  • වන්දි පිළිබඳ ගැටලු

2022 මාර්තු 01 වන දින රජය විසින් නිවේදනය කළේ පසුගිය වගා කන්නයේ වගා හානි වූ සියලුම ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 50,000 බැගින් වන්දි ලබාදෙන බවයි.

අප කතා කළ කිසිම ගොවියකුට තහනමෙන් සිදු වූ පාඩුවට වන්දි ලැබී නොතිබිණි. වඩාත්ම නරක දෙය නම්, ඔවුන් සියල්ලන් අතරම ඔවුන්ට පොරොන්දු වූ දෙයින් සතයක්වත් ඔවුන්ට නොලැබෙන බවට හොඳ විශ්වාසයක් ද තිබීමයි. ඇතැමුන් රජයේ වන්දි මුදල් පිළිබඳව අසා තිබුණු අතර තවත් සමහරුන් ඒ සඳහා තමන් සුදුසුකම් ලබන්නේද යන්න හරියටම දැන නොසිටි අතර තවත් සමහරුන් තුළ එවැනි ගෙවීම් නිකුත් කිරීම සඳහා තම තොරතුරු රැස්කළ, නමුත් කිසි විටෙකත් නැවත පසු විපරමක් සිදු නොකළ නිලධාරීන් කෙරෙහි එතරම් විශ්වාසයක් නොතිබුණි.

කෙසේ වෙතත් වන්දි ගෙවීම සම්බන්ධයෙන් මතුවන ගැටලු කිහිපයක් තිබේ. ගෙවීම ලැබීම යමෙකු ගොවිජන සේවා සංගමයක සාමාජිකයෙකු වීම මත රඳා පවතී. සංගමයේ සාමාජිකයෙකු වීම ඔවුන් තමන් වගා කරන ඉඩමෙහි අයිතිකරුවන් වීම මත රඳා පවතී.

සමන්තුරේ ප්‍රදේශය තුළ, ඉඩම් හිමියෙකු තම ඉඩම කන්නයේ දී වගා කිරීම සඳහා ගොවියෙකුට බදු දෙන 'අඳ ගොවි' ක්‍රමය බහුලව භාවිත වනු අපට දැකගත හැකි විය. ඉඩම් හිමියා වගා කරන පුද්ගලයාට ඒ සඳහා තම කැමැත්ත දැක්වෙන ලිපියක්, යම් ලියාපදිංචි කිරීමක් කන්නය සඳහා ලබා දෙයි. කන්නය සඳහා වගාකරු ලෙස ලියාපදිංචි වූ තැනැත්තාට ඒ අනුව වන්දිය ගෙවනු ලැබේ.

නමුත් ඔබ වගා කරන ඉඩම ඔබට අයිති නැති විට හෝ එම ඉඩම සඳහා ඔබ සතුව එවැනි ලියකියවිලි නොමැති විට හෝ සිදු වන්නේ කුමක්ද?

කඳුකරයේ තේ වතුවල මලයියහ/කඳුකර දමිළ සේවකයෝ තේ වගාව සඳහා භාවිත නොවන කුඩා ඉඩම් කට්ටිවල සමහර විට එළවළු වගා කරති. කෙසේ වෙතත්, එසේ වගාකරන ගොවියා සිටින්නේ අනතුරුදායක තත්ත්වයකය. ඔවුන් සතුව භූමියට නීත්‍යානුකූල හිමිකමක් නොමැත. වත්තේ කළමනාකාරීත්වයට වගා කිරීම නවත්වන්න යැයි ඔවුන්ට පැවසීමට හැකි අතර, ඔවුහු සේවකයන් වගා කිරීම එසේ සීමා කිරීමද යම්තාක් දුරකට සිදු කරති. එසේම, එම ජනයා බෝග පාළු වීම සම්බන්ධයෙන් රජය පොරොන්දු වූ වන්දිවලටද සුදුසුකම් නොලබති. ඒ ඔවුන් ද තමන්ගේ මුදල් සහ ශ්‍රමය යොදවා අසල වෙළඳපොළවල්වලට සැපයීම සඳහා වගා කරන ගොවියන් බව නොතකාය.

  • බෙදාහැරීමේ/ගබඩා කිරීමේ ජාලයක් නොමැතිකම නිසා ඇතිවන නාස්තිය

ඉන්ධන අර්බුදය, ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කළ හැකි පරාසයට බලපෑම් කර ඇත. කෙසේ වෙතත්, ආහාර බෙදා හැරීමේ ජාලයේ පවතින හිඩැස් වත්මන් හිඟයන්ට පෙර සිටම පවතී. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මදකට නැවතුනු කල බොහෝ වෙළෙඳුන් අප සමඟ පැවසුවේ ඔවුන්ට ලැබෙන අස්වනුවලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ආසන්න ප්‍රදේශවලින් බවයි.

කෙසේ වෙතත්, නියමිත පරිදි වාහන වෙළඳපොළට පැමිණියද, ගබඩා කිරීම සහ සංරක්ෂණය කිරීම පිළිබඳ ගැටලු නොවිසඳී පවතී. දඹුල්ල මධ්‍යස්ථානය පිටුපස ගබඩා සංකීර්ණ ගණනාවක සම්පූර්ණ ධාරිතාව ප්‍රයෝජනයට නොගෙන පවතින බව අපට පවසන ලදි. කාබනික ගොවියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන විමුක්ති ද සිල්වා මෙම එක් ස්ථානයක පමණක් අපතේ යන ආහාර ප්‍රමාණය පිළිබඳව අවධාරණය කරන ලදි.

දඹුල්ල වෙළඳපොළෙන් බොහෝ විට නගරයෙන් පිටත වෙනත් වෙළඳපොළක් කරා පිටත් වෙන ලොරියකට මිනිසෙක් එළවළු පිරි පෙට්ටි සහ ගෝනි පටවයි.

ද සිල්වා අනෙකුත් ගොවීන් සමඟ එක්ව ඇගේ රාජාංගනය ගම්මානයේ වගා කරයි. ගමේ අවශ්‍යතා සැපිරීමෙන් පසුවත් කෙදිනකවත් වෙළෙඳපොළකට නොයන නිෂ්පාදන ප්‍රමාණය කෙතරම් දැයි ඇය දකී. මීට අමතරව දඹුල්ල සහ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවල දෛනිකව ටොන් ගණන් ආහාර අලෙවි නොවී පවතින බව ඇය පෙන්වා දෙයි. "ඔව්, මේ තහනම අපිට කොච්චර වවන්න පුළුවන්ද කියන එකට බලපෑමක් කළා තමයි, නමුත් අපි වවන දේ එකතු කිරීමට, ගබඩා කිරීමට සහ බෙදා හැරීමට නොහැකි වීම මේ අර්බුදය තවත් වැඩි කරනවා.”

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අපතේ යාම පිළිබඳ පර්යේෂණයකින් පෙනෙන්නේ මධ්‍යස්ථානයට දිනකට ගෙන එන නිෂ්පාදනවලින් 30% ක් පමණ අපතේ යන බවයි. ප්‍රවාහනයේ ගුණාත්මකභාවය, ඇසුරුම්කරණය, ගබඩා තත්ත්ව, තොරතුරු සන්නිවේදනයේ දුර්වලතා සහ අතිරික්ත සැපයුම මෙම නාස්තියට දායක වන සාධක වේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කෘෂිකාර්මික තොරතුරු වෙළඳපොළක් නොමැතිකම විසඳීම සඳහා 2008 තරම් ඈත කාලයක දී පවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මෙවලම් භාවිතය යෝජනා කර ඇත. කෘෂිකර්මාන්තයේ ගනුදෙනු පිරිවැය පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ මධ්‍යස්ථානයට නිෂ්පාදන සපයන ගොවීන් විසින් දරනු ලබන තොරතුරු ආශ්‍රිත පිරිවැය මුළු ගනුදෙනු පිරිවැයෙන් 70% ක් වන බව සහ අතර එය මුළු නිෂ්පාදන පිරිවැයෙන් 15% ක් වන බවයි. කතුවරුන් තර්ක කර ඇත්තේ සරල ජංගම දුරකථන පදනම් කරගත් මෙවලමක් හරහා මෙම පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවයි.

  • නාගරික ප්‍රජාවන් සහ නාගරික දුප්පතුන් වඩාත්ම පීඩාවට පත්වනු ඇත

නාගරික ප්‍රදේශවල මිනිසුන් "ගමේ මිනිසුන්ට මාර අමාරු ඇති" යැයි පවසනු ඇසීමට අප පුරුදු වී ඇත. මෙම චාරිකාව පුරාවටත්, වෙනත් සංචාරවලදීත් අපට මෙහි අනෙක් පැත්ත ‘ගමේ මිනිස්සුන්ගෙන්’ අසන්නට ලැබුණි. ඔවුන් කනස්සල්ලෙන් යුතුව අසන්නේ “කොහොමද කොළඹ මිනිස්සුන්ට, කන්න තියෙනවද?” යනුවෙනි.

පොහොර තහනම සහ පවතින ඉන්ධන ප්‍රශ්න හමුවේ වුවද, තම පවුල පෝෂණය කිරීම සඳහා පමණක්වත් අවම වශයෙන් කුඩා ප්‍රමාණයක් වගා කළ හැකි බව ගම්වල ගොවීහු නිරන්තරයෙන්ම පවසති. නාගරික ප්‍රදේශවලින් පිටත ජීවත් වන තවත් බොහෝ දෙනෙක් ඔවුන්ට ගස්, පැල සහ ආහාර ද්‍රව්‍ය වගා කරන බිම් ඇති බව, නැත්නම් ඒවා ඉබේ වැවෙන බව පවසති.

“අපිට නම් අඩුම තරමේ ගහකින් කොස් ගෙඩියක් කඩාගන්න පුළුවන්, නැත්නම් පලා ජාති ටිකක් දාල කැඳක් හදාගන්න පුළුවන්, එහෙමත් නැත්තම් යන්තම් බතක් හදාගන්න වී ටිකක් හරි ඉතුරු වෙලා තියෙනවා. ඒ වුණාට ටවුමේ ඉන්න මිනිස්සුන්ට ඒ කොන්ක්‍රීට් අස්සේ මොකක්වත් වාවගන්න තැනක් නැහැ නෙව.” - වලපනේ

එය ආහාර අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේ මාධ්‍යයක් ලෙස සෙමින් ආරම්භ වෙමින් පවතින ප්‍රජා මුළුතැන්ගෙවල් පිළිබඳ සාකච්ඡා වලදී ද මතු වූ ප්‍රශ්නයක් වේ. සපුමල්තැන්න ගම්මානයේ සංවිධායකයින් පවසන්නේ ඉවුම් පිහුම් කටයුතු සඳහා අවශ්‍යතා සපයන්නේ ගම්වැසියන් බවයි. එක් පුද්ගලයෙකු මඤ්ඤොක්කා ගේන අතර අනිත් කෙනා කෙසෙල් මුව ගෙනත් දෙයි, මිනිස්සු තමන් ළඟ තියෙන දෙයින් දායක වේ. කෙසේ වෙතත්, කොළඹ කොම්පඤ්ඤවීදියේ ප්‍රජා නායකයින් පවසන්නේ ඔවුන්ට ආහාර වේලක් සෑදීම සඳහා මිල වැඩි වූවත් අසල ඇති වෙළඳසැල්වලින් මිලදී ගත් භාණ්ඩ මත විශ්වාසය තැබීමට සිදු වනු ඇති බවයි.

නිගමනය

මේ දිගු චාරිකාව අවසානයේ අප සිටින්නේ කොහිද?

පොහොර තහනම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව විනාශ කරන ඩොමිනෝ බලපෑමක් (domino effect) ඇති කර තිබේ. අපට හමුවූ බොහෝ ගොවීන්ගේ මහ කන්නයේ අස්වැන්න 20% සිට 90% දක්වා පහත වැටී තිබුණි. කුඩා අලාභ පමණක් වාර්තා කළේ රසායනික පොහොර සංචිත තොග තිබූ හෝ ඒ සඳහා ඉහළ මිලක් ගෙවීමට හැකියාව තිබූ හෝ අයයි.

වත්මන් යල කන්නයේ වී වගාවෙන් අපේක්ෂිත අස්වනු හානිය දිවයින පුරා 60% කට ආසන්නය. මහාචාර්ය මාරඹේට අනුව විශේෂයෙන්ම බඩඉරිඟු අස්වැන්නට දැඩි ලෙස පහර වැදී ඇති අතර ඉන් 75% ක පමණ පාඩුවක් අපේක්ෂා කරයි. මෙය අනෙක් අතට සත්ත්ව ආහාර නිපදවීම කෙරෙහි බලපාන අතර එය කුකුළු හා පශු සම්පත් කර්මාන්ත විනාශ කරයි.

පවතින අර්බුද මධ්‍යයේ එතරම් අවධානයට ලක් නොවූ තවත් ඩොමිනෝ සංසිද්ධියක් වන්නේ බිත්තර වී ය. මෙවර යල කන්නය ප්‍රමාණවත් තරම් බිත්තර වී නිෂ්පාදනය නොකළහොත් 2022/23 මහ කන්නයේ වගාවට බලපෑම් එල්ල වන බව රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුර කුමාර අනතුරු අඟවයි.

ඉතා පැහැදිලිව පෙනෙන එක් දෙයක් නම් කාබනික ගොවිතැන යනු නිසඟයෙන්ම ගැටලුකාරී ක්‍රමවේදයක් නොවන බවයි. සහයෝගයක් ලබාදෙන මාර්ග හෝ නිසි සූදානම් වීමක් හෝ නොමැතිව රාජපක්ෂ ආණ්ඩුව විසින් තහනම එක රැයෙන් ක්‍රියාත්මක කළ ආකාරය රට අවදානමට හෙලන ලදි. එසේම, අප කතා කළ ජයතිස්ස සහ රාණි වැනි කාබනික ගොවීන් කුඩා පරිමාණයෙන් ගොවිතැන් කරන අයයි. මුළු රටේම ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම කුඩා වගාවන් විශාල කළ හැකිද යන්න දැකගැනීමට තවමත් හැකිවී නැත. තහනම වහාම ක්‍රියාත්මක කරන විට මේ කිසිවක් සැලකිල්ලට ගෙන නොතිබුණි.

අප චාරිකාවෙන් පසු මාස කිහිපය තුළ ගොවීන් පොහොර ලබා ගැනීමට නොහැකිව සිටීමේ සිට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම දක්වා තත්ත්වයකට පත්ව ඇත. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදි කෘෂිකාර්මික ක්‍රියාවලිය සිදු කළ නොහැකි බවත් නිෂ්පාදන විකිණීම සඳහා වෙළඳපොළට ලබා දිය නොහැකි බවත් ය. මෙය අපට හුරුපුරුදු ශ්‍රී ලංකාවේ ආහාර ජාලය දැනටමත් වෙනස්වී ඇති ප්‍රමාණයට වඩා බලවත් අයුරින් වෙනස් කළ හැකිය.

අප දිවයින පුරා ගොස් වාර්තා කර ඇති කතා නැවත ඔබේ දෛනික කෑම පිඟානට බලපෑම් එල්ල කරයි. මිල වැඩිවීම් පිළිබඳ ප්‍රවෘත්ති අසන විට ඔබ මෙය මතකයේ තබා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එසේම සමහර විට ඔබ සාප්පු සවාරි යන විට, රාක්කවල එළවළු පලතුරු ඇත්තේ අඩුවෙන් බව සහ ඉතිරිවා ඉතා ඉහළ මිලකින් යුක්ත බව දකින විටත් මෙය මතකයට නැගෙනු ඇත. ගොවීන්ට බලපාන ඕනෑම අර්බුදයක් අප සැමටම බලපායි.

පාද සටහන - කාබනික පොහොර වර්ග

කාබනික පොහොර වර්ග විශාල ප්‍රමාණයක් තිබේ. කාබනික පොහොරවල ස්වභාවිකව සිදුවන ක්‍රියාවලීන්ගේ අතුරු ඵලයක් හෝ අවසාන ඵලයක් හෝ වන ශාකමය හෝ සත්ත්වමය හෝ ද්‍රව්‍ය අඩංගු වන අතර ඒ අතරට පොහොර ලෙස යොදන සත්ත්ව මළපහ සහ කොම්පෝස්ට් වූ කාබනික ද්‍රව්‍ය වැනි දෑ ඇතුළත් වේ.

වඩාත් බහුලව භාවිත වන කාබනික පොහොර වන්නේ -

  • සත්ත්ව මළපහ - ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන කාබනික පොහොර වර්ගයකි, ප්‍රධාන වශයෙන් ගොමවලින් සමන්විත වේ. ගව මළපහ නයිට්‍රජන් සහ කාබනික කාබන් යන ඒවායේ හොඳ ප්‍රභවයක් වන අතර එළු මළපහ නයිට්‍රජන් සහ පොටෑෂ්වලින් පොහොසත්ය.
  • ගුවානෝ - වසර ගණනාවක් තිස්සේ එකතු වූ මුහුදු පක්ෂීන්ගේ සහ වවුලන්ගේ අසූචිවලින් සෑදී ඇත. කොලොම්බියානු හුවමාරුවට වසර දහස් ගණනකට පෙර ස්වදේශික ඇමෙරිකානුවන් විසින් ගුවානෝ බහුලව භාවිත කරන ලදි. ගුවානෝහි ශාක වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සියලුම ප්‍රධාන පෝෂක වන නයිට්‍රජන්, පොස්පේට් සහ පොටෑසියම් සුවිශේෂී වශයෙන් ඉහළ ප්‍රමාණයකින් අන්තර්ගත වේ. ගුවානෝ සොයා ගැනීම ඇත්ත වශයෙන්ම අද දවසේ දක්නට ලැබෙන පොහොර යනාදිය වැඩියෙන් යොදන කෘෂිකාර්මික ක්‍රමවල මූලයයි.
  • කොම්පෝස්ට් - සරලම මට්ටමින් කිවහොත් කොම්පෝස්ට් සෑදීම සඳහා 'හරිත' (කොළ අපද්‍රව්‍ය) සහ 'දුඹුරු' (දුඹුරු අපද්‍රව්‍ය) මිශ්‍රණයක් එකතු කිරීම අවශ්‍ය වේ. හරිතයන් යනු පත්‍ර, තණකොළ සහ ආහාර කැබලි වැනි නයිට්‍රජන්වලින් පොහොසත් ද්‍රව්‍ය වේ. දුඹුරු යනු දඬු, කඩදාසි සහ ලී කැබලි වැනි කාබන්වලින් පොහොසත් වඩාත් දැවමය ද්‍රව්‍ය වේ. මිශ්‍රණය දිරාපත් වන විට එයට ජලය එකතු කරයි. ජලය, වාතය සහ කාබන් සහ නයිට්‍රජන් බහුල ද්‍රව්‍ය මැන බලා යොදන, ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන ක්‍රියාවලියක් ලෙස ද කොම්පෝස්ට් සෑදීම සිදුවිය හැක.
  • ජෛව ඝන අපද්‍රව්‍ය - මළ පිරිපහදු කිරීමේ ක්‍රියාවලියකින් ලබාගත් පොහොර ලෙස භාවිත කරන ඕනෑම කාබනික ද්‍රව්‍යයක්. ජෛව ඝන අපද්‍රව්‍යවල සත්ත්ව මළපහවල ඇති පෝෂකවලට සමාන පෝෂක අඩංගු වේ. ගොවිතැනේ දී පොහොර ලෙස භාවිත කරන ජෛව ඝන අපද්‍රව්‍ය රෝග ඇති කරන රෝග කාරක මහජනතාව අතර පැතිරීම වැළැක්වීම සඳහා සාමාන්‍යයෙන් පිරිපහදු කරනු ලැබේ.

කාබනික කෘෂිකර්මයේ දී ද භාවිත වන අකාබනික සංයෝග වර්ග තිබේ. වඩාත් බහුලව භාවිත වන ඛනිජ සංයෝග වන්නේ පොස්පේට් පාෂාණ (rock phosphate), පිරිපහදු නොකරන ලද ලැන්ග්බයිනයිට් (raw langbeinite), පාෂාණ දූවිලි (rockdust) සහ සකස් නොකළ ස්වභාවික පොටෑසියම් සල්ෆේට් (unprocessed natural potassium sulfate) යන ඒවායි.  ශ්‍රී ලංකාව තුළ එප්පාවල පොස්පේට් පාෂාණ පොස්පරස් ප්‍රභවයක් ලෙස ගොවීහු බහුලව භාවිත කරති.

පාද සටහන - කාබනික ගොවිතැන ද සාම්ප්‍රදායික ගොවිතැන ද?

කාබනික ගොවිතැන ද සාම්ප්‍රදායික ගොවිතැන ද යහපත් යන විවාදය මෑත වසරවලදී එක හා සමානව හඬ නගන යෝජකයින් සහ විරුද්ධවන්නන්ගෙන් පිරී තදින් ඇවිලෙමින් පවතී. කාබනික ආහාර වේලක සෞඛ්‍යමය සහ පාරිසරික ප්‍රතිලාභ වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් සිටින නමුදු බොහෝ විද්‍යාඥයෝ සහ කෘෂි විද්‍යාඥයෝ කෘෂිකර්මාන්තයේ අප ළඟා කරගෙන ඇති දියුණුව පසෙක ලෑම ප්‍රශ්න කරති.

මෙම විකාශනය වන ක්ෂේත්‍රය පිළිබඳ අපගේ මාස ගණනක පර්යේෂණවලින් අපට පෙන්වා දී ඇත්තේ සරල පිළිතුරු නොමැති බවයි. අපට අපේම පූර්ව නිගමනවලට අභියෝග කිරීමටත් එකිනෙකට වෙනස් අදහස් ඇති විවිධ හඬවලට සවන් දීමටත් සිදු විය.

1999 සහ 2014 අතර, කාබනික ආහාර සහ බීම වර්ගවල ගෝලීය අලෙවිය ඇමෙරිකානු ඩොලර් බිලියන 15.2 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 80 දක්වා වැඩි වී ඇතැයි ගණන් බලා ඇත. නමුත් කාබනික නිෂ්පාදන යනු මොනවා ද? යුරෝපා සංගමයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදය දෙස බලන විට යම් නිෂ්පාදනයක් කාබනික යැයි සහතික කිරීමට ඔබට එකිනෙකට වෙනස් කොන්දේසි හමුවනු ඇත. කෙසේ වෙතත්, සියලුදෙනාම පොදුවේ පිළිගත් සම්මතයක් වන්නේ නිෂ්පාදන කාබනික යැයි සැලකීම සඳහා ජාන වෙනස් කරන ලද බීජ, කෘතිම පොහොර සහ කෘතිම පළිබෝධනාශක භාවිත කළ නොහැකි බවයි. ගෝඨාභය රාජපක්ෂගේ ‘කාබනික’ ප්‍රතිපත්තිය මෙම සාමාන්‍ය සම්මතයවත් සලකා බැලීමට අසමත් විය.

කාබනික ගොවිතැන පිළිබඳව අප වැඩි වැඩියෙන් කියවන තරමට, ශ්‍රී ලංකාවේ කාබනික ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී මෙරට බලධාරීන් කෙතරම් අඩුවෙන් සිතා බලා ඇත්ද යන්න අපට වඩාත් පැහැදිලි විය. පිටු දහස් ගණනක පර්යේෂණ කියවීමට සිදුවීමෙන් ඔබව ගලවා ගැනීම සඳහා අපට තිබූ ප්‍රශ්න බොහොමයක් අසන සහ යම්තාක් දුරකට ඒවාට පිළිතුරු දෙන පහත වීඩියෝ දෙක නැරඹීම අපි නිර්දේශ කරමු.

මෙම ලිපිය සඳහා දත්ත

DSC Paddy Data - 2020_2021Maha_Metric.pdf 60118

2013_14 Economic Census - JaffnaSH2Report.pdf 3525163

2013_14 Economic Census - PolonnaruwaSH2Report.pdf 3745358

2013_14 Economic Census - NuwaraEliyaSH2Report.pdf 1827542

2013_14 Economic Census - AmparaSH2Report.pdf 3539063