Analysis
කෘෂිකාර්මික ජාතියේ මිථ්‍යාව
Mar 23, 2022
මෙය ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයෙන් යැපීම සහ ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත වේද යන්න පිළිබඳ කතාවකි.

පැරැන්නන්ගේ ක්‍රම මගින් ඇත්තටම ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහනය පෝෂණය කළ හැකි ද? අප කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත ද? බත් ඇටයක් කියන්නේ පුදුම දෙයක්, නමුත් මේ පුදුමාකාර මිථ්‍යා-ඉතිහාසය නම් එසේම යැයි පිළිගන්න ටිකක් අමාරුයි.

රූපය: ක්ලෝඩියස් ටොලමිගේ ඉපැරණි තැප්‍රෝබේන්හි සිතියම. ලබාගත්තේ archeology.lk වෙතිනි.

මතකය මිථ්‍යාවකි

පුරාණ ඉතිහාසය ගැන මොකද කියන්නෙ?

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

මෙම ලිපිය සඳහා දත්ත

මතකය මිථ්‍යාවකි

මෙම කතන්දරයට අනුව, එක්කෝමත් එක කාලෙක ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කෘෂිකාර්මික රටක් විය. අපි අපේම සහල් වගා කළෙමු, අපි මිලියන ගණනක් පෝෂණය කළෙමු, අපට පොහොර අවශ්‍ය නොවීය, අපට විවෘත ආර්ථිකයන් අවශ්‍ය නොවීය, ඒ වගේම ඒ සඳහා අපට මේ නව විකාර තාක්‍ෂණයන් සහ මිල අධික ආනයනයන් කොහොමත් අවශ්‍ය නොවීය.

ඔබ ශ්‍රී ලාංකිකයෙකු නම් මේ කතාව ඔබ කවදා හරි අසා ඇති.

දේශපාලනඥයෙකුගේ සුරංගනා කතා ලෙස, මාධ්‍යවේදීන් ඔහේ කියවන දේවල් ලෙස, කඩපළේ දී හෝ ඩ්‍රින්ක් එකක් දමමින් බයිට් කමින් හෝ කියන බොරු පණ්ඩිත කතා ලෙස ඔබ මේවා හැමතැනම දැක ඇති, අසා ඇති.

කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය (සහ ඒ හරහා ඇති වන ආහාර සුරක්ෂිතතාව) වැදගත් ඉලක්කයකි. මූලික, සාමාන්‍ය බුද්ධි මට්ටමින් සලකා බලන විට එය ගෝලීය සැපයුම් දාම අඩාල වීම් අපගේ ආහාර සැපයුමට බලපෑම් කිරීම වළක්වයි.

ප්‍රශ්නෙ කියන්නේ අපි අපිටම කියන මේ කතාන්දරය දත්තවලට හරියට නොගැලපෙන එකයි.

පළමුව, සහල් අපගේ වැදගත්ම බෝගය වන අතර, කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන් බහුතරයක් එහි නිෂ්පාදනය සඳහා කැපවී සිටිති. කෙසේ වෙතත්, අපි අවම වශයෙන් 1960 සිට කොටන ලද සහල් ආනයනය කරමින් සිටිමු. [1]

1960 සිට 2021 දක්වා වර්ෂයකට ආනයනය කරන ලද කොටන ලද සහල් ප්‍රමාණය දැක්වෙන ප්‍රස්ථාරයක්. 2000 ගණන් දක්වා වූ දශක කිහිපය තුළ වර්ෂයකට මෙට්‍රික් ටොන් දහස් ගණනක් වූ ආනයන විශාල ප්‍රමාණයක් සිදු කර ඇත.
1960 සිට 2021 දක්වා වර්ෂයකට ආනයනය කරන ලද කොටන ලද සහල් ප්‍රමාණය දැක්වෙන ප්‍රස්ථාරයක්. 2000 ගණන් දක්වා වූ දශක කිහිපය තුළ වර්ෂයකට මෙට්‍රික් ටොන් දහස් ගණනක් වූ ආනයන විශාල ප්‍රමාණයක් සිදු කර ඇත.

තිරිඟු සලකන විට, ශ්‍රී ලංකාව තිරිඟු නිෂ්පාදනය නොකරන අතර දේශීය පිටි මෝල් සෑම විටම තිරිඟු ඇට ආනයනය කිරීම මත විශ්වාසය තබා ඇත. මෑත කාලය තුළ අපි සෘජුවම තිරිඟු පිටි ආනයනය කිරීම ආරම්භ කර ඇත්තෙමු.

පරිප්පු, සීනි, පලතුරු, කිරි සහ කිරි නිෂ්පාදන යම් ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය වුව ද අපි මේ සියලු දේ ලබාගැනීමට ආනයන මත යැපෙමු. ගෙවී ගිය වසර හැටක කාලය තුළ අපි සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත වීමට ආසන්නවත් වූවා නම් ඒ 2006 වසරේ දී වන අතර ඒත් සහල්වලින් පමණි.

මෙයින් හැඟවෙන්නේ කුමක්දැයි සිතා බලන්න: අප සංවෘත ආර්ථිකයක් (1977 ට පෙර) හෝ විවෘත, ලිබරල්කරණය කරන ලද ආර්ථිකයක් (1977 ට පසු) පවත්වාගෙන ගියේද නැද්ද යන්න නොසලකා, දැනට ජීවත්ව සිටින සෑම පුද්ගලයෙකුම මේ වනවිට ආනයනික ආහාර පරිභෝජනය කර (තනිකරම ඒ මත ජීවත් වූවා ද විය හැක) ඇත. වර්තමානයේ දී අප කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත නොවන අතර මතක ඇති කාලයක එසේ ස්වයංපෝෂිතව සිට ද නොමැත.

පුරාණ ඉතිහාසය ගැන මොකද කියන්නෙ?

ශ්‍රී ලංකාව සියවස් ගණනාවක් තිස්සේ කෘෂිකාර්මික නිෂ්පාදන වගා කර වෙළඳාම් කර ඇත. අප දන්නේ එපමණයි: යුරෝපය, මැද පෙරදිග සහ ආසියාව අතර සමුද්‍රීය වෙළඳ මාර්ග මෙරට කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිත කරන ලදි.

සහල් සහ දේශීයව වගා කරන අනෙකුත් නිෂ්පාදන බොහෝ විට 'පෙරදිග ධාන්‍යාගාරය' ලෙස හඳුන්වන මෙම දිවයිනේ වැසියන් පෝෂණය කරන අතරම වෙනත් රටවල් සමඟ වෙළඳාම් කරන භාණ්ඩවල අංගයක් බවට ද පත්ව තිබිණි. ඉතිහාසයේ මෙම අවධියේ ශ්‍රී ලාංකීය ගොවීන් සත්ව පොහොර, බෝග අවශේෂ, බෝග මාරු කිරීම, වගා වෙනස් කිරීම සහ බෝග විවිධාංගීකරණය වැනි ශිල්පීය ක්‍රම භාවිත කර ඇතැයි විශ්වාස කෙරේ.

මෙම කරුණු තවත් කරුණක් හා සම්බන්ධ වේ: මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේදී ශ්‍රී ලංකාව මෙම සාම්ප්‍රදායික ගොවිතැන් පිළිවෙත් භාවිත කරමින් රටේ සිටි ජනගහනයට වඩා විශාල ජනගහනයක් පෝෂණය කරන ලදි යන අදහසයි.

මෙන්න මෙතනදි තමයි දේවල් සංකීර්ණ වෙන්නෙ.

ජනගහන සංඛ්‍යා ඇස්තමේන්තු කිරීම ඇදහිය නොහැකි තරම් දුෂ්කරය. මා දන්නා පරිදි මෙම කාල සම්බන්ධයෙන් අපට නිසි වාර්තා නොමැත. වඩාත් වටිනා ලෙස සැලකෙන අපගේ ඓතිහාසික ලේඛන (මහාවංශය, චූලවංශය සහ පුජාවලිය වැනි) ඉලක්කම් කෙරෙහි නොව රාජාණ්ඩු සහ ආගමික කටයුතු කෙරෙහි අවධානය යොමු කරයි.

මට දළ වශයෙන් හුරුපුරුදු, යම් සංඛ්‍යා සහිත පොත් තුනක් තිබේ: පරාක්‍රමබාහු රජුගේ හමුදාව (ක්‍රි.ව. 1170) පිළිබඳව ලියූ පුජාවලිය සහ නිකාය සංග්‍රහය; සහ ශ්‍රී ලංකාවේ කතාන්දරය පැහැදිලි කරගැනීමට මුල්කාලීන සංඛ්‍යාලේඛනඥයෙකු දැරූ උත්සාහයන් පෙන්නුම් කරන රාජවලිය (ක්‍රි.ව. 1300).

පූජාවලියේ සඳහන් වෙන්නේ මිනිසුන් “සීයකින් දහයක්” හමුදාවට තෝරා ගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සෑදුණු හමුදාව සෙබළු 2,125,000 කින් (“එක් විසි ලක්ෂ පස්විසි දහසක් තෝරා ගෙන”) සමන්විත වූ බවත් ය. පූජාවලිය භාවිත කළ මූලාශ්‍රම භාවිත කරනවා යැයි සැලකිය හැකි නිකාය සංග්‍රහය ද මෙම ප්‍රකාශයට පිටුබලය දෙයි.

පුජාවලියේ සඳහන් හමුදාවේ සංඛ්‍යා නිවැරදි යැයි උපකල්පනය කළහොත්, “සීයකින් දහයක්” යන ගණනයට අනුව එකල ජනගහනය මිලියන 21.25 ක් වනු ඇත - එය නූතන ශ්‍රී ලංකාවේ දැනට සිටින ජනගහනයට ආසන්නයි. [2]

ගැටලුව වන්නේ, මෙම සංඛ්‍යා ඒවායේ කාලයට කිසිසේත්ම නොගැලපීමයි. කාලයක් පුරාවට ලෝකයේ විශාලතම හමුදාවන් පිළිබඳව මාටින් වා(ර්)ජික් කලාකරුවා සිදු කළ ග්‍රහණය කරගැනීමට පහසු චිත්‍රණයක් මෙන්න:

ක්‍රිස්තු පූර්ව 2500 සිට ක්‍රිස්තු වර්ෂ 2014 දක්වා කාලය තුළ විශාලතම හමුදාවන් චිත්‍රණය කොට ඇති රූපසටහනක්.

මෙම සංඛ්‍යා නිවැරදි යැයි උපකල්පනය කළහොත්, මෙයින් අදහස් කරන්නේ පරාක්‍රමබාහු රජු විසින් ඒකරාශී කරන ලද තනි ශ්‍රී ලාංකික හමුදාව, එහි යුගය සලකන විට, රෝම අධිරාජ්‍යයේ හමුදාවට (450,000) සහ ජෙන්ගිස් ඛාන්ගේ සම්පූර්ණ මෙහෙයුමට (>900,000) වඩා අති විශාල වූ බවත් චීනයේ මිංග් රාජවංශයේ හමුදාව (1,300,000) මෙන් දෙගුණයක් විශාල වූ බවත් ය.

සොල්දාදුවන් මිලියන දෙකක් යනු නූතන එක්සත් ජනපද හමුදාවට සමාන වන අතර එය අපේ කාලයේ වඩාත්ම විනාශකාරී ලෙස බලවත් අධිරාජ්‍යයන්ගෙන් එකකි. එය කෙතරම් විශාල සංඛ්‍යාවක් ද යත්, එය එම කාල සීමාවට අදාළ සැසඳීම්වලට පටහැනි වේ.

ඉතින් මෙන්න මේක තමා ප්‍රශ්නය: ඇත්තටම එය මෙතරම් සංඛ්‍යාවකින් සමන්විත වූයේ නම්, මෙම දැවැන්ත හමුදාව කළේ මොකක්ද සහ එය ඉෂ්ට කරගත්තේ මොනවාද?

පරාක්‍රමබාහුගේ හමුදා පාණ්ඩ්‍ය රාජධානිය අල්ලා ගත් අතර, චෝල දේශයේ ගැඹුරට ගමන් කළහ. ගැටලුව වන්නේ මෙම වික්‍රම මිලියන දෙකක සෙබළුන්ගේ ශක්තිය පිළිබිඹු නොකිරීමයි. පුජාවලියේ දැක්වෙන ගණන යන්තමින් හෝ නිවැරදි නම් ශ්‍රී ලංකා හමුදාව පැරණි ලෝකයේ ශ්‍රේෂ්ඨතම බලවේගයන්ගෙන් එකක් විය යුතුව තිබුණි.

නිදසුනක් වශයෙන්, චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජ්‍යය ඉන්දියානු උපමහාද්වීපයේ පැවති විශාලතම දේශපාලන ආයතනය වේ - එය ඉන්දියාවේ පැවති බ්‍රිතාන්‍ය යටත්විජිත රාජ්‍යයට වඩා විශාලය. මෙගස්තිනීස් (Megasthenes) (ග්‍රීක ඉතිහාසඥයා සහ සමහර විට ඉන්දියානු ජනවාර්ගික විද්‍යාඥයා) සහ ප්ලිනි (රෝම කතුවරයා සහ හමුදා අණදෙන නිලධාරියා) යන දෙදෙනාම චන්ද්‍රගුප්තගේ හමුදාව 600,000 ක පාබල හමුදාවක් බව දැක්වූහ - ප්ලිනි මෙයට අශ්වාරෝහකයන් 30,000 ක් සහ අලි ඇතුන් 9,000 ක් එකතු කරන ලදි. මෙගස්තිනීස් විසින් මෙය පුරාණ ලෝකයේ ඒකරාශී කරන ලද විශාලතම හමුදාව ලෙස සලකන ලදි.

රෝමය සොල්දාදුවන් 450,000 කින් අධිරාජ්‍යයක් ගොඩනගන ලදි. මොංගෝලියානුවන් චීනය කොතරම් භීතියට පත් කළාද යත්, චීන ජාතිකයෝ ඔවුන් ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා අභ්‍යවකාශයේ සිටත් පෙනෙන තාප්පයක් ඉදි කළහ. මිංග් රාජවංශයේ මිලියන 1.3 ක හමුදාව ස්ථාපිත කරන ලද්දේ මිලියන 103 ක ජනතාවකින් යුත් අධිරාජ්‍යයකිනි. මිලියන දෙකක ශ්‍රී ලාංකික හමුදාවක් කෙතරම් විකාර සහගත ලෙස විශාල විය යුතු ද යත්, එයට සියලු පැරණි වාර්තාගත හමුදාවන් අභිබවා යා හැකි විය යුතුය. එහෙත් ශ්‍රී ලංකා ආක්‍රමණ අවසානයේ අසාර්ථක වූ අතර [4] පශ්චාත්-පරාක්‍රමබාහු යුගය විශාල වශයෙන් ඛණ්ඩන සහ අභාවයන් පිළිබඳ කතාවකි.

එම පැරණි ග්‍රන්ථවල කතුවරුන් සංඛ්‍යාලේඛනඥයන් නොවන බව පිළිගැනීම වඩාත් සරලය; ඔවුන් කතන්දර කියන්නන් වූ අතර, ඔවුහු අතිශයෝක්තියට නැංවීම් කළහ. මුල්කාලීන ඉතිහාසඥයෝ බොහෝ විට එසේ කළහ. ප්ලිනි (Pliny) නිසැකවම එසේ කළේය [5]. ඔවුන් ඇත්ත වශයෙන්ම අතිශයෝක්තියට නංවා ඇත්නම්, එය ශ්‍රී ලංකාවේ එවක ජනගහනය මිලියන 21.25 ක් යැයි ඇස්තමේන්තුගත කිරීම බොරු කරයි.

නමුත් යම් අමුතු සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස, ආසන්න වශයෙන් ඉන්දියාවේ විශාලතම අධිරාජ්‍යයට සමාන ජනගහනයක් අප සතුව තිබූ බව තත්පරයකට උපකල්පනය කරන්න.

මේ මිලියන ගණන් මිනිස්සුන්ට මොකද වුණේ?

ක්‍රිස්තු වර්ෂ 1000 සීමාව ආසන්නයේ ඇස්තමේන්තුවල ඒවා නිසැකවම නොපෙන්වයි. ඇවකොෆ්ගේ Two Thousand Years of Economic Statistics [6] ඇස්තමේන්තු කර ඇත්තේ සොංග් රාජවංශය කාලයේ චීනයේ මිලියන 80 ක පමණ ජනතාවක් සිටි බවයි; චෝල අධිරාජ්‍යයේ මිලියන 27-28 ක් පමණ ජනතාවක් සිටි බවයි; ශුද්ධ රෝම අධිරාජ්‍යය සහ නැගෙනහිර රෝම අධිරාජ්‍යය යන දෙකම එකතු වී මිලියන 24 ක පමණ ජනතාවක් සිටි බවයි. ක්‍රි.ව. 1500 වන විට චීනයේ මිංග් රාජවංශය යටතේ මිලියන 103 ක ජනතාවක් සිටින ලදි. ශුද්ධ රෝම අධිරාජ්‍යයේ මිලියන 23 ක් විය. දිල්ලි සුල්තාන් රාජ්‍යය සහ මාලි රාජධානිය යන දෙකෙහිම මිලියන 20 ක පමණ ජනතාවක් සිටි බව පෙනේ.

මිථ්‍යා ඇස්තමේන්තුවලට අනුව, පරාක්‍රමබාහු රජු සමයේ ශ්‍රී ලංකාව රෝමය සමඟ තරඟ කිරීමට තරම් විශාල විය යුතුය. සෑම රටක් සමඟම වෙළඳාම් කිරීමට පමණක් නොව - ලෝකයේ සැලකිය යුතු කොටස් යටත්විජිත බවට පත් කරගැනීමට, ඉතිහාසයේ, කලාවේ සහ චින්තනයේ ආධිපත්‍යය දැරීමට අපට හැකි වී තිබිය යුතුය. ලතින් භාෂාව තරමටම සිංහල භාෂාව ද ව්‍යාප්ත වී තිබිය යුතුය. පුරාණ ලෝකය පුරාවටම සඳකඩපහණ් තිබිය යුතුය.

පොළොන්නරුව යුගයේ ලෝක පූජිත සඳකඩපහණ. ලබාගත්තේ Wikimedia Commons වෙතිනි.එහෙත්, 1871 වන විට, සංගණන ප්‍රයත්නයන් දැඩි උද්යෝගයකින් යුතුව ආරම්භ වූ විට, ජනගහනය මිලියන 2.4 ක් පමණ විය. 1974 සිට ශ්‍රී ලංකාවේ ජනගහනය පිළිබඳ CICRED (Committee for International Cooperation in National Research in Demography) ඒකලේඛය (monograph) අපට පෙන්වා දෙන්නේ මෙයයි:

1871 (මිලියන 2.4) සිට 1971 (මිලියන 12.7) දක්වා ශ්‍රී ලංකාවේ ජනගහන දත්ත පෙන්වන වගුවක්.මෙය මිලියන 21.25 ක ඇස්තමේන්තුවකින් ආරම්භ වී, වසර 500 ක් පුරාවට ජනගහනයේ දස ගුණයක තරම් අඩුවීමකි.

එය මෙසේ දක්වන්නත් පුළුවන්: ඔබ දන්නා පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම මිය යන බව සිතන්න.

එබැවින්,

අ) පැරණි මූලාශ්‍රවලින් අපට ලබා ගත හැකි ජනගහන සංඛ්‍යාව අතිශයෝක්තියට නංවා ඇත, නැතහොත් ආ) යටත්විජිතකරණයට පෙර ශ්‍රී ලංකාව එහි ජනගහනය පෝෂණය කිරීමෙහි ලා කෙතරම් අසාර්ථක වීද යත්, අපි ඇත්ත වශයෙන්ම අපගේම ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් මරා දැමුවෙමු - එසේ වසර 500 ක් දිවෙන වඳවීමක් සිදු වූයේ නම් එය අවධානයට ලක්විය යුතුව තිබිණි.

ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් ඇස්තමේන්තු කළේ පරාක්‍රමබාහු රජු යටතේ පොළොන්නරුවේ ජනගහනය මිලියන තුනක් පමණ වූ බවයි. සමහර ඉතිහාසඥයන් ඔහුගේ සංඛ්‍යා අධි තක්සේරුවක් ලෙස සිතන [6] නමුත් එසේ වුවද එය නූතන ශ්‍රී ලංකාවේ ප්‍රමාණයට සමාන රාජ්‍යයක් පිළිබඳ කතාවලට වඩා සත්‍යයට සමීප බව පෙනේ.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

එයින් අදහස් වන්නේ මෙම සංවාදය සඳහා සාක්ෂි නොමැති තරම් බවයි.

අපි මෙම මාතෘකාව හා වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති පොහොර පිළිබඳව ලිපි මාලාවක් ගොඩනගමින් සිටිමු. නමුත් දැනට අපි ගොවිතැන් පිළිවෙත් දෙස බලමු. පැරණි ගොවීන් සතුව කාබනික ගොවිතැන් ක්‍රම පැවතිනි. ඔවුන් මිලියන තුනක පමණ ජනතාවක් ජීවත් කරවන්නට ඇත. කෙසේ වෙතත්, නවීන ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සපුරාලිය හැකි අයුරින් එම ක්‍රම පුළුල් කළ හැකි බවට ප්‍රකාශ කිරීමට අපට කිසිදු සාක්ෂියක් නොමැත. අපේ අවශ්‍යතා ඊට වඩා බෙහෙවින් විශාලයි. දශක ගණනාවක් තිස්සේ තිබුණු විවිධ ආකාරයේ දේශපාලනයන්, කටමැත දෙඩවීම් කොතරම් තිබුණත් මෙම ගැටලුව විසඳා නැත.

ශ්‍රී ලංකාව බොහෝ කෘෂිකාර්මාන්ත වර්ග සඳහා අතිශයින්ම සුදුසු බව නොඅනුමානය. නමුත් අද අපට ඇති සියලු ප්‍රශ්න විසඳිය හැකි මිථ්‍යා තත්ත්වයක් පිළිබඳ අදහස කතන්දරයකි. එය ඊඩන් උයන වැනි මිථ්‍යාවකි. එය අපට අප පිළිබඳව හොඳ හැඟීමක් ඇති කරන කතන්දරයකි, නමුත් එය අදට අදාළ වන බව ඉන් අදහස් නොවේ.

පැරණි රාජධානියක ශිල්පීය ක්‍රම නවීන ආර්ථිකයකට ගැලපිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව ඇත්ත වශයෙන්ම අපට බොහෝ දත්ත නොමැත. දේශපාලන වේදිකාවල කතා සහ ලේඛකයින් කිහිප දෙනෙකුගේ (මගේ ද ඇතුළුව) වචන ප්‍රමාණවත් නොවේ.

ලෝකය පුරාම පැරැන්නන්ගේ ක්‍රම පසෙහි ඇති නයිට්‍රජන් ප්‍රමාණයෙන් සීමා වේ. ජනගහනය වර්ධනය වීමත් සමඟම, විශාල ඉඩම් ප්‍රමාණයක් සහ ශ්‍රමය නොයොදවා නිෂ්පාදන පරිමාණය වැඩි කිරීම වඩ වඩාත් දුෂ්කර වේ. මෙම ක්‍රම ප්‍රමාණවත් වූයේ රාජකාරි ක්‍රමය පදනම කොටගෙන ක්‍රියාත්මක වූ, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් කුඹුරු වැඩෙහි යෙදුනු, ප්‍රාථමික ආර්ථිකය සහිත හෙල්ල සහ රජවරුන්ගේ යුගයකට බවත් අප මතක තබා ගත යුතුය.

එම කාලයේ ශ්‍රී ලංකාවේ ජනගහනය පිළිබඳව නිවැරදි දත්ත අප සතුව නොතිබුණද, නීතීඥයින්, මෘදුකාංග ඉංජිනේරුවන්, CIMA සහතික ලත් ගණකාධිකාරීවරුන්, ත්‍රීරෝද රථ රියදුරන්, ඇමතුම් මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් සහ ඒ හා සමාන වෙනත් අය විශාල සංඛ්‍යාවක් සිටින නවීන ආර්ථිකයක් තිබිය නොහැකි බව ඔබට පෙනේ. අද මෙම අතීත ශ්‍රී විභූතිය පිළිබඳව පම්පෝරි ගසන අයට එවැනි පද්ධතියක් තුළ ඔවුන් ඉටු කරන කාර්යභාරය නොතේරෙනු ඇත. [8]

මා කතන්දර අගය කරන බව මෙහිදී සටහන් කළ යුතුය; මගේ පුද්ගලික විශ්වාසය නම් අප හෝමෝ සේපියන්ස් සේපියන්ස් නැත්නම් ප්‍රඥාවන්ත මිනිසා නොව, හෝමෝ නැරේටර් නැත්නම් කතන්දරකාරයා වන බවයි. කතන්දර යනු අප අන්තර් ක්‍රියා කරන ආකාරයයි. කතන්දර, සම්බන්ධතාවයන් ඇති කරගැනීමට රුකුල් දෙන අතර එය අපට එකතු වී ව්‍යාපාර කටයුතුවල නියැලීමට, රාජධානි පිහිටුවීමට, ආගම් ගොඩනඟා ගැනීමට සහ ඉතිහාසයට යමක් එකතු කිරීමට ඉඩ දෙයි. නමුත් යම් අවස්ථාවක් එනවා අපේ ගණන් මිනුම් නිවැරදි විය යුතු. අප මේ කතා දෙස බලා මෙසේ ඇසිය යුතුයි:

“ඒ කොහොමද එහෙම වෙන්නෙ?”

මෙම ලිපිය සඳහා දත්ත

Rice imports by year, Sri Lanka, 1960-2021

Wheat imports by year, Sri Lanka, 1960-2021

CICRED 1974 monograph on Sri Lanka.pdf 6291125

[1] මෙම දත්ත ඇත්තටම ශ්‍රී ලංකා රජයේ ආයතනවලින් සපයන ලද ඒවා වුවත් මා USDA භාවිත කළේ, රජයේ ආයතනවලින් සපයන දත්ත අගුලු දමා ඇති (copy+paste කළ නොහැකි) PDF ලේඛනවල ඇති බැවිනි. ඒවා වගු ආකාරයෙන් භාවිත කළ හැකි ආකාරයට සෑදීමට විශාල මහන්සියක් දැරිය යුතු වේ. ඊට සාපේක්ෂව USDA දත්ත මෙවැනි කෙටි දළ විශ්ලේෂණයක් සඳහා වඩාත් පහසු වේ. USDA වාර්තා දෙස බලන විට, ඔවුන් ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි ආයතන මත විශ්වාසය තබන බව පෙනෙන අතර, එක්සත් ජනපද විදේශ කෘෂිකර්ම සේවයේ (Foreign Agricultural Service) කොළඹ ශාඛාව (නවදිල්ලියේ සිට ක්‍රියාත්මක වන) සංස්ලේෂණ සහ වාර්තා සපයයි.

[2] මෙම ගණනය කිරීම ඉතා සුලභ එකක් වන අතර, බොහෝ විට සියලු ආකාරයේ අමුතු කියමන් සාධාරණීකරණය කිරීමට භාවිත කරයි. උදාහරණයක් ලෙස "ශ්‍රී ලංකාව, “දෙමළ ජන සංහාරය” නිසා දෙමළ ජනගහනය වැඩි වන ලෝකයේ එකම රට!” යන මාතෘකාවෙන් Sinhalanet හි පළවූ මෙම ලිපිය සලකා බලන්න. නැතිනම් මේ මෑතක දී පළවූ, එම ක්‍රමවේදයම භාවිත කරමින් ජනගහනය ගණනය කළ, එහෙන් මෙහෙන් ගොස් යම් කාලයක දී ශ්‍රී ලංකාවේ බිලියන 5 ක ජනගහනයක් සිටි බවට ප්‍රකාශ කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ පත්‍රිකාව බලන්න.

[3] Mookerji, R. (1966). Chandragupta Maurya and his times. Motilal Banarsidass

[4] Mendis, G. C. (1996). The Early History of Ceylon and Its Relations with India and Other Foreign Countries. Asian Educational Services.

[5] Carrier, R. (2017). The scientist in the early roman empire. Pitchstone Publishing (US&CA).

[6] Avakov, A. V. (2010). Two Thousand Years of Economic Statistics: World Population, GDP and PPP. Algora Publishing

[7] Ross, R. R., Savada, A. M., & Nyrop, R. F. (1990). Sri Lanka, a country study.

[8] මෙය මගේ පැත්තෙන් කළ අනුමානයකි, නමුත් එවිට මා මෙම ලිපිය නොලියවීමේ සම්භාවිතාව ඉහළ (මා භික්ෂුවක් හෝ දේවගැතිවරයෙකු හෝ නම් මිස) වන අතර ඔබට එය කියවීමට කාලය කිසිසේත් නොමැති වනු ඇත. අප දෙන්නම කුඹුරක උදැල්ලකට රණ්ඩු වෙමින් සිටීවි.