Analysis
ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව සිදු වූ
May 12, 2022
මෙය ඇදහිය නොහැකි තරම් දිගු සතියකි - ගිනි තැබීම්, මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වන බවට තර්ජනය කිරීම, අගමැති ඇත්ත වශයෙන්ම ඉල්ලා අස්වීම, දින ගණනාවක් අවුල් සහගත තත්ත්වයෙන් පසු නව (නමුත් පැරණි) අගමැතිවරයෙකු දිවුරුම් දීම දක්වා වූ සාරාංශයක්.

මෙය ඇදහිය නොහැකි තරම් දිගු සතියක් - මැර කණ්ඩායම් විසින් සිදුකළ ගිනි තැබීම්, මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වන බවට තර්ජනය කිරීම, අගමැති ඇත්ත වශයෙන්ම ඉල්ලා අස්වීම, ඉතාමත් අවුල් සහගත දින කිහිපයකට පසුව නව (නමුත් පැරණි) අගමැතිවරයෙකු දිවුරුම් දීම දක්වා සිදු වූ දෑ බොහෝය. මෙන්න අප සිදුකළ පෙළගැස්වීම.

සඳුදා (මැයි 09) සිදු වූ දෑ ආවර්ජනය කරමු: සඳුදා ආරම්භ වුණේ අරලියගහ මන්දිරයේ පැවති රාජපක්ෂ හිතවාදී විරෝධතාකරුවන්ගේ රැස්වීමෙන්. ඉන්පසුව එය රාජපක්ෂ හිතවාදී විරෝධතාකරුවන් එක් විරෝධතා භූමියක් වන මයිනාගෝගම බිමට සමතලා කිරීම දක්වා ද, පසුව ගෝඨාගෝගමේ සිටි අයට පහර දීම දක්වා ද විකාශය වුණා.

අපගේ පෙර ලිපියේ, අපි සම්පූර්ණ කාලරාමුව විශ්ලේෂණය කොට වෘත්තාන්තයේ ප්‍රධාන කරුණු ස්ථාපිත කළෙමු. මෙයට සම්බන්ධ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුද්ගලයින් මෙන්ම පොලිසිය ප්‍රතිචාර දැක් වූ ආකාරය ද එයට ඇතුළත්.

මෙම ලිපියෙන් ප්‍රහාරයෙන් අනතුරුව සිදු වූ දෑ ආවරණය කරයි. බොහෝ දෑ එකවර සිදු වූ බව මතක තබා ගන්න; දේවල් ග්‍රහණය කරගැනීම පහසු කිරීම සඳහා අප විවිධ සිදුවීම් එකට කණ්ඩායම් ලෙස එකතු කර ඇත. ලිපිය දිග හැරීමට ශීර්ෂ ක්ලික් කරන්න.

පස්වරු 2: දීප ව්‍යාප්ත ඇඳිරි නීතිය සහ ගෝඨාගෝගම යළි ගොඩනැගීම

පස්වරු 1.50 වන විට නීතිඥයෝ ගෝඨාගෝගම විරෝධතාකරුවන් සහ පොලිසිය අතර මිනිස් දම්වැලක් ස්ථාපිත කළෝය. පස්වරු 2 වන විට, බස්නාහිර පළාත පුරා ඇඳිරි නීතිය පනවන ලද අතර පස්වරු 2.36 පමණ වන විට මෙය දිවයින පුරා ඇඳිරි නීතිය බවට පත් විය.

ඇඳිරි නීතිය තිබියදීත්, ගෝඨාගෝගමෙහි සෙනඟ ක්‍රමානුකූලව වර්ධනය වූ අතර, විරෝධතාකරුවෝ ඉක්මනින් එම භූමිය ප්‍රතිසංස්කරණය කිරීමට උදව් කළෝය.

විරෝධතාකරුවෝ රාජපක්ෂ හිතවාදී මැරයින් විසින් විනාශ කළ කූඩාරම් නැවත ගොඩනැගීමට උදව් කරති. ඡායාරූපය අයිෂා නසීම් විසිනි.

විරෝධතාකරුවන් පිරිසක් අරලියගහ මන්දිරයට යාම අවහිර කරමින් සවස 4 පමණ වනතුරු මාර්ගය වසා විශාල වශයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළු රැඳී සිටියෝය. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ප්‍රවෘත්තිය ඒ මොහොතේ පැමිණි අතර ඉන් පසුව ටික වේලාවකින් ඔවුහු වෙරළ දෙසට විසිර ගියහ.

ගෝඨාගෝගම සෙනඟ එන්න එන්නම වැඩි වුණි. හෙදියන්, ගුරුවරුන්, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය, වරායේ කාර්ය මණ්ඩලය ආදී මේ සියල්ලෝ තම සේවා ස්ථානවලින් නික්ම කෙලින්ම, නිල ඇඳුමින් හා ආම්පන්නවලින් සැරසීම විරෝධතාකරුවන් සමඟ සිට ගැනීමට පැමිණියෝය.

දිනයේ මුල් භාගයේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කළ ප්‍රචණ්ඩත්වයෙන් අනතුරුව මැර යුක්තිය බලපැවැත්වුනු අතර එදා උදේ අරලියගහ මැදුරට ගෙන්වාගත් රාජපක්ෂ හිතවාදීන් හෝ ‘බේබි මයිනන්‘ නැත්නම් මහින්ද රාජපක්ෂ හිතවාදීන් සිටී දැයි බැලීමට විවිධ කණ්ඩායම් වාහන පරීක්ෂා කිරීමට පටන් ගත්තෝය.

රාජපක්ෂ හිතවාදී විරෝධතාකරුවන්ට වටකර පහර දුන් අතර, සමහර අවස්ථාවල දී ඔවුන්ගේ යට ඇඳුම් පමණක් ඉතිරි වන තෙක් ඇඳුම් ගලවා දමන ලදි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයින්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මෙම සැලකීමට භාජනය වූ පිරිස අතර විය.

රාජපක්ෂ හිතවාදී විරෝධතාකරුවන්ව මැද කොළඹ බේරේ වැවට ද ඇද දමන ලදි.

ඉහත දර්ශන බොහෝ වාර ගණනක් සංසරණය වී ඇති අතර, විවිධ කෝණවලින් ගත්, නමුත් ප්‍රභවය නොදන්නා වෙනත් දර්ශන භාවිතයෙන් සත්‍යාපනය කර ඇත. බේරේ වැව Google Maps හි “බයියා නාපු වැව” ලෙස අලුතින් නම් කර ඇත්තේ මෙම සිදුවීම පිළිබිඹු කිරීමටය (බයියා යනු රාජපක්ෂවරුන්ගේ ආධාරකරුවන් අවමානයට ලක්කිරීමට නිර්මාණය කරන ලද යෙදුමකි).

Google Maps හි බයියා නාපු වැවේ screenshot එකක්

වටරැක විවෘත බන්ධනාගාර කඳවුරෙන් පිටතට ගෙන ගොස් ප්‍රහාරයට සම්බන්ධ කළ බව කියන පුද්ගලයින්ගේ දර්ශන පැතිරීමට පටන් ගන්නා ලදි. රාමනායක නම් ජේලර් කෙනෙක් තමන්ව එහි ගෙනා බව ඔවුහු ප්‍රකාශ කළහ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ සිරකරුවන් පිරිසක් ඔවුන් සේවය කරන ඉදිකිරීම් වැඩබිම්වල සිට ආපසු එන විට මාලඹේ දී මෙයට කොටු වූ බවයි.

වාහනවලට පහර දීම

රාජපක්ෂ හිතවාදීන් ප්‍රවාහනය කළ බව කියන වාහන ගණනාවක් ද බේරේ වැවට පෙරළන ලදි.

මෙම වාහන සමහරක් ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ඒවා බව විරෝධතාකරුවෝ විශ්වාස කළෝය. SUV රථයක් බේරේ වැවට පෙරළන පිරිසකගේ මෙම දර්ශනය Daily Mirror විසින් කැමරාවට හසුකරගෙන තිබුණි.

A vehicle allegedly belonging to former Minister Johnston Fernando has been pushed in to the Beira lake. pic.twitter.com/q2FHMYfdXQ

— DailyMirror (@Dailymirror_SL) May 9, 2022

විවිධ කණ්ඩායම් ඉතා ඉකමනින් කොළඹින් පිටත ප්‍රධාන මාර්ගවලට අවුත් රාජපක්ෂ හිතවාදීන් ඒවායේ නැග කොළඹින් පිටතට නොයන වග තහවුරු කරගැනීම සඳහා බස් රථ පරීක්ෂා කිරීම සිදු කළෝය (මෙම ලිපියට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන් දෙදෙනෙකු කොටුව සහ ඔවුන්ගේ නිවස අතර හය වතාවක් නතර කිරීමට ලක්ව තිබිණි). උදාහරණයක් ලෙස පහත දැක්වෙන්නේ මහරගම නගරයේ දර්ශනයකි (NewsWire විසින් තහවුරු කර ඇත, නමුත් මුල් ඡායාරූපය නිශ්චිතවම සොයා ගැනීම අපහසුය):

පහත ඡායාරූපය (නැවතත්, මහරගම) ට්වීට් කළ පරිශීලකයා වාර්තා කළේ සමූහය සතුව ලෝහ පොලු සහ හොකී පිති තිබූ බවයි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ සහ වෙනත් වාහන ගණනාවකට පහර දී ගිනි තබා තිබිණි.

බැකෝ යන්ත්‍රයක් මගින් බස් රථයක් විනාශ කරන ආකාරය දැක්වෙන මෙම දර්ශනය දැකගත හැකිව තිබුණේ කඩවත දී ය (පෑන් ඒෂියා බැංකුව සහ ලකී සයිකල් සෙන්ටර් අසල).

අධිවේගී මාර්ගවලට ඇතුළු වන මාර්ග සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට යන මාර්ගවල මෙම කණ්ඩායම් වැඩි වශයෙන් දක්නට ලැබුණි. ඒවා පටිගත කරන බව දුටු ඕනෑම කෙනෙකුට තර්ජන ද එල්ල විය.

ඡායාරූපය: @kavinthans, Twitter හරහා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මරණය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ මෝටර් රථය නිට්ටඹුවේ දී වටලා තිබිණි. මන්ත්‍රීවරයා හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරියා හෝ විරෝධතාකරුවන්ට වෙඩි තබා එක් විරෝධතාකරුවෙකු මිය ගොස් අවම වශයෙන් දෙදෙනෙකුට තුවාල වූ බව වාර්තා වී තිබිණි. පසුව අතුකෝරල ද මිය ගිය බව වාර්තා විය.

ඔහුගේ මරණය පිළිබඳව බොහෝ වැරදි තොරතුරු තිබේ. පැවසුනු පරිදි විරෝධතාකරුවන්ට වෙඩි තබා පලා යාමෙන් පසු ඔහු සියදිවි නසාගත් බව ඇතැමුන් වාර්තා කරන ලදි. තවත් අය චෝදනා කරන්නේ කෝපයට පත් පිරිස අතින් පහර කෑමෙන් ඔහු මිය ගිය බවයි.

මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂකයාගේ මළ සිරුරු දැක්වෙන (සංස්කරණය නොකළ) වීඩියෝ පටය දැකීමෙන් පසුව බොහෝ දෙනා විසින් වාර්තා කරන ලද ඇදහිය නොහැකි තරම් සංවේදී සියදිවි නසාගැනීම පිළිබඳ පුවත විශ්වාස කිරීම අපට අපහසු විය.

වතුපිටිවල මූලික රෝහලේ පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල අද (13) ලංකාදීප පුවත්පතේ පළවිය; අමරකීර්ති අතුකෝරල මිය ගොස් ඇත්තේ පහරදීමකින් බවත් වෙඩි වැදීමෙන් කිසිම තුවාලයක් සිදුවී නොමැති බවත් එහිදී අනාවරණය විය.

අප වතුපිටිවල මූලික රෝහල ඇමතූ විට මෙම වාර්තාවේ සත්‍යතාව තහවුරු කරන ලදි. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබිණි. ඔහුගේ සොහොයුරා වන නලින් වෙල්ගම පවසන පරිදි ඔහුගේ වාහනය මාකුඹුරේ දී යමෙකුගේ ගැටී ඇති අතර ඔහු කවුදැයි නොදන්නා කුපිත වූ පිරිස් විසින් ඔහු පහර කෑමට ලක්ව ඇත.

ගිනි ගන්නා මන්දිර (සහ හෝටල්)

මෙවා මෙසේ සිදුවෙමින් තිබිය දී, දේශපාලනඥයින්ට සහ ඔවුන්ට සම්බන්ධ අයට අයත් නිවාස සහ වෙනත් දේපළවලට දවස පුරාවට (බොහෝ දුරට රාත්‍රියේ) ගිනි තබන ලදි. මෙම ප්‍රහාර රට පුරා පුළුල්ව පැතිර ගිය අතර මූලික වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයින් සහ රාජපක්ෂ හිතවාදී අනෙකුත් අය ඉලක්ක කර ගෙන තිබිණි. අප විසින් වාර්තා කර ඇති ගිනිබත් කරන ලද දේපල අවම වශයෙන් 75 කින් ප්‍රධාන ඒවා කිහිපයක් මෙහි ලැයිස්තුගත කර ඇත:

  1. රාජපක්ෂගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂගේ ප්‍රතිමාව, තංගල්ලේ දී කඩා දමා ඇත
  2. ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය, මැදමුලන
  3. කුරුණෑගල සහ මැදමුලන පිහිටි මහින්ද රාජපක්ෂගේ නිවාස
  4. බැසිල් රාජපක්ෂගේ නිවස, මල්වාන
  5. චමල් රාජපක්ෂගේ නිවස
  6. කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස, මහනුවර
  7. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල සහ වික්‍රමසිංහපුර නිවාස
  8. නිමල් ලාන්සාගේ නිවස, මීගමුව
  9. ඇවෙන්රා ගාර්ඩන් හෝටලය සහ ග්‍රෑන්ඩීසා හෝටලය, මීගමුව: නිමල් ලාන්සා ඒවායේ කොටස් හිමියෙකු බව කියැවිණි
  10. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ කාර්යාලය, එරාවුර් හි ප්‍රධාන වීදිය [1]
  11. සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එස්. රහීම්ගේ පුත්තලමේ නිවස
  12. ඒ. එස්. රහීම්ගේ නිවස, පුත්තලම [1] අපි මේවා අපගේ විරෝධතා සිතියම (protest tracker) තුළට එක් කිරීමට කටයුතු කරමින් සිටිමු; නමුත් දැනට ඔබට සංස්කරණය නොකළ දත්ත බැලීමට අවශ්‍ය නම් මෙන්න අපගේ දත්ත පත්‍රය:

අරලියගහ මන්දිරයට එල්ල කළ ප්‍රහාරය සහ මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීම

අරලියගහ මන්දිරයේ සිට රාජපක්ෂ හිතවාදී ප්‍රහාරය බලමුලු ගැන්වුණු ආකාරය අපගේ පෙර ලිපියේ සටහන් කළෙමු.

මේ වන විට මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳ කටකතා සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණි; එයට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පැවති දිනයක් සඳහන් නොකළ ලිපියක් ද හේතු විය.

මහින්ද රාජපක්ෂගේ දිනයක් සඳහන් නොකළ ඉල්ලා අස්වීමේ ලිපිය. ඡායාරූපය: Newswire.lk

Roar.lk විසින් මිනිසුන් පංචිකාවත්ත ප්‍රදේශයේ දී කිරිබත් පිසින අයුරු ඡායාරූප ගත කර ඇත.

මහින්ද රාජපක්‍ෂ අරලියගහ මන්දිරයේ සිට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ගුවනින් රැගෙන ආ බවට පැතිර ගිය කටකතා හේතුවෙන් මෙම පුළුල් ලෙස සංසරණය වූ අර්ජුන් රවීගේ වීඩියෝවෙන් පෙනෙන පරිදි විරෝධතාකරුවෝ විශාල පිරිසක් ඉන් පිටත රැස්ව සිටියෝය.

திருகோணமலை கடற்படை முகாமை முற்றுகையிட்டு பொதுமக்கள் போராட்டம்

VIDEO - @ArjunRavi96 pic.twitter.com/zhu1crH7MK

— Vithushan Jeyachandran (@imjvithu) May 10, 2022

මේ අතරතුර බේරේ වැව ආසන්නයේ දී, විශේෂයෙන් අරලියගහ මන්දිරයේ පිටුපස දොරටුව අසල දී, වාහනවලට ගිනි තබා වතුරට තල්ලු කරන ලදි. ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන WION ප්‍රවෘත්ති ආයතනයේ ජාත්‍යන්තර වාර්තාකරු දසුනි අතාවුද එම සිද්ධිය ආවරණය කරමින් දර්ශන ලබා දුන්නාය (ඇගේ ගිණුම සහ NewsWire යන ගිණුම් දෙකෙන්ම මෙය ට්වීට් කරන ලදි).

#SriLankaInChaos - Monks watch on as unrest erupts at the Beire Lake entrance to Temple Trees.

About three vehicles set ablaze and pushed to the Beire Lake.

Protests continue despite an islandwide curfew. #SriLankaProtests #SriLankaEconomicCrisis pic.twitter.com/elzInd6iY3

— Dasuni Athauda (@AthaudaDasuni) May 9, 2022

NewsWire දර්ශනවල දැක්වෙන්නේ අරලියගහ මන්දිරය පිටුපස ඇති ගින්නක් අසල පොලිසිය සිටින ආකාරයයි. එය මීට පෙර ගිනි තැබූ වාහනවලින් එකක් ද නැතිනම් අරලියගහ මන්දිරය තුළ තිබූ වෙනත් වාහනයක් ද යන්න අපට හරියටම කිව නොහැක. එය දෙවැන්න මෙන් පෙනේ. නමුත් කවුරුන් හෝ අරලියගහ මන්දිරයේ පිටුපස ගේට්ටුව කඩාගෙන බසයක් ගෙන යාමට උත්සාහ කළ බව නම් අපි දනිමු.

Tense situation near Temple Trees : Police fire tear gas to disperse protestors pic.twitter.com/8wPhER5TFP

— NewsWire 🇱🇰 (@NewsWireLK) May 9, 2022

මෙහි කාල රේඛාව තරමක් නොපැහැදිලි ය. බොහෝ දේ සිදු විය: විරෝධතාකරුවෝ අරලියගහ මන්දිරයට ඉදිරියෙන් සහ පිටුපසින් පහර දුන්නෝය; අරලියගහ මන්දිරය තුළ වාහනයකට කවුරුන් හෝ ගිනි තබන ලදි; රැස්ව සිටි පිරිස වෙත කිහිප වතාවක්ම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදි.

හවස 6.30 වන විට අරලියගහ මන්දිරය පිටුපස සෙනඟ රැස්වී සිටි බව අපි දනිමු. රාත්‍රී 8 වන විට අරලියගහ මන්දිරය ඉදිරිපිට ද විශාල පිරිසක් රැස්ව සිටි අතර සෙනඟ දෙපසම ගේට්ටුවලට පහර දෙමින් සිටියෝය. පටිගත දර්ශනවලට අනුව, විරෝධතාකරුවෝ ගේට්ටු විවෘත කිරීමට උත්සාහ කිරීම සඳහා බාධකවල පොලු පවා භාවිත කළෝය.

රාත්‍රී 8.25 දර්ශනවලින් පෙනෙන්නේ මෙම සෙනඟ මෙම ගේට්ටු කඩාගෙන යන ආකාරයයි.

Watch : Protestors break into Temple Trees by ramming into the gate. #lka #SriLanka pic.twitter.com/adP3m91vVV

— MDWLive! SriLanka 🇱🇰 (@MDWLiveSriLanka) May 9, 2022

මෙය ආවරණය කරමින් එහි සිටි ඩේලි මිරර් පුවත්පතේ කලනි කුමාරසිංහ නිශ්චිත වේලාවන් දැනගැනීම සඳහා වඩාත් විශ්වාසදායක මූලාශ්‍ර අතරින් එකකි.

Seeing very very disturbing scenes here at the Temple Trees protest. Young men are equipped with makeshift batons, steel rods, sharpening various objects things against walls. This is their response to reports that an STF attack is imminent. If you are coming out here, take care

— Kalani Kumarasinghe (@KalaniWrites) May 9, 2022

පැහැදිලිවම තවත් වාහනයක් අරලියගහ මන්දිරයේ ගාලු පාර ඉදිරිපස පිවිසුම අසල ගිනි තබා ඇත.

A vehicle inside the Temple Trees compound has been set on fire. Some protestors here say that a truck was set alight by persons inside the compound #SriLanka #lka pic.twitter.com/gTh0k6HLGO

— Kalani Kumarasinghe (@KalaniWrites) May 9, 2022

රාත්‍රී 11.30ට පමණ ප්‍රවෘත්ති වෙබ් අඩවිවල අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ගැසට් පත්‍රය පළ විය.

මැයි 10: වෙඩි තැබීමට අයිතිය සහ ජනාධිපති කථාවක්

සඳුදා සිදු වූ 'නොසන්සුන්තාව' අතරතුර ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් 'නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමට අසමත් වූයේ' මන්දැයි පැහැදිලි කිරීමට යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාව සහ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවන ලදි.

බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහ දවල් පහර දෙන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් කරන ලදි.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත පෙර දින සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

“... නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයන් වීම, කෝලාහලයක් මැඬලීමේදී රාජ්‍ය සේවකයකුට පහරදීම හෝ බාධා කිරීම, කෝලාහලයක් ඇති කිරීමේ අදහසින් මහජනයා කුපිත කිරීම, නීති විරෝධී ජනරාශියකට සහභාගිවන්නන් හට නවාතැන් දීම, ස්වේච්ඡාවෙන් පුද්ගලයන්ට තුවාල සිදුකිරීම, භයානක ආයුධ භාවිත කිරීම, බරපතල ශාරීරික හානි සිදු කිරීම, හිතාමතා හෝ බරපතල හෝ තුවාල සිදු කිරීම, නුසුදුසු බාධා කිරීම්, වධහිංසා පැමිණවීම, කාන්තාවකට පහර දීම, සාපරාධී බලහත්කාරය, අනාචාරය සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකරුවන් හට දඬුවම් ලැබිය හැකිය.”

රාත්‍රී 7ට පමණ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න නිවේදනය කළේ පොදු දේපළ කොල්ලකන හෝ අන් අයට හානි කරන හෝ ඕනෑම කෙනෙකුට වෙඩි තැබීමට සන්නද්ධ හමුදා හට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නියෝග දී ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟම කැබිනට් මණ්ඩලයේ සහ අමාත්‍යාංශවල (සහ එහි දිගුවක් ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ) පැවැත්ම නතර වන බව නීතීඥයින් කිහිප දෙනෙකු ඉන් පසුව පෙන්වා දී ඇත.

When PM resigns, the Cabinet is dissolved.

There are no Ministries.

The sole executive now is the President.

The commander of the armed forces is the President.

So, if at all, it is the President who can order the armed forces.

— 𝗡.𝗞.𝗔𝘀𝗵𝗼𝗸𝗯𝗵𝗮𝗿𝗮𝗻 (@nkashokbharan) May 10, 2022

මෙම පෙර නොවූ විරූ ආකාරයේ තත්ත්වය පිළිබඳව නීති විශාරද ආචාර්ය දිනේෂා සමරරත්න ද සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයෙකු ඉල්ලා අස්වූ විට අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙන බවත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට තනතුරුවල රැඳී සිටීමට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන නොමැති බවත් ය. Watchdog සමඟ සංවාදයක දී ඇය සඳහන් කළේ ලේකම්වරුන් විසින් නිකුත් කරන ලද නියෝග හෝ ගනු ලබන ක්‍රියාමාර්ග හෝ සඳහා නීතිමය පදනමක් නොමැති බවයි.

මේ අතර පසුගිය දින කිහිපය තුළ කොළඹ පුරා හමුදා වාහන දක්නට ලැබිණි. මෙම සන්නද්ධ රථ පෙළ දියත උයන හන්දිය අසල දී කැමරාවට හසු වී ඇත.

මැයි 11: කථා දෙකක කතාවක්

බදාදා සවස 3:30 ට පමණ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අමාත්‍යාංශ තුනක (ආරක්ෂක, මහජන ආරක්ෂාව සහ මුදල්) ලේකම්වරුන් නැවත පත් කර ඇති බවයි.

සවස 4 ට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාව දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර නොගතහොත් සති දෙකක් හෝ එවැනි කාලයක් ඇතුළත තමන් ඉල්ලා අස්වන බවයි. කැබිනට් මණ්ඩලයක් සහ මුදල් ඇමතිවරයෙකු නොමැතිව ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇති බව ඔහු සඳහන් කළේය. [2]

මැයි 9 වෙනිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ විරෝධතාකරුවන් ගාලු මුවදොරට නැවත පැමිණි අතර බාධකය අසල වේදිකාව මත සිටගෙන සිටී. ඡායාරූපය: අමලිනි ද සේරා

සවස 6 ට ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාවට නියෝග කළේ ප්‍රචණ්ඩත්වය වැළක්වීමට වෙඩි තැබීම සහ අවශ්‍ය බලය යෙදවීම සිදුකරන ලෙසයි.

බදාදා රාත්‍රී 9 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මිනිත්තු 10ක කතාවක් පැවැත්වූ අතර එහිදී ඔහු විරෝධතාකරුවන් කැරලිකරුවන් සහ කරදර ඇති කරන්නන් ලෙස බැහැර කළේය. වටකරනු ලැබුවා වූ ජනාධිපතිවරයා ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට එල්ල කළ ප්‍රහාරය හෙළා දුටු නමුත් ඒවා නමින් සඳහන් නොකර සිටියේය.

ජනාධිපති රාජපක්‍ෂ නව අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් එම සතිය ඇතුළත පත්කිරීමට, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන නැවත පිහිටුවීමට සහ ආර්ථික ස්ථාවරත්වය ඇති වූ වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට තමන් කැපවෙන බව සඳහන් කරන ලදි.

කරදර ඇති කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇති බව ද ඔහු පැවසීය. පොදු දේපල සොරකම් කිරීමට හෝ අන් අයට හානි කිරීමට සම්බන්ධ පුද්ගලයින්ට වෙඩි තැබීමට පෙර දුන් නියෝග ඉන් තහවුරු කරන ලදි.

මැයි 12: පිඟන් මැටි සිංහාසනය සඳහා සටන

පෙරවරු 9:18: මෙම සතිය තුළ නව රජයක් සහ 'ජනතාවගේ විශ්වාසය දිනා ගත හැකි' අගමැතිවරයෙකු පත් කිරීම පිළිබඳව ජනාධිපති රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරයි.

1/4
Steps will be taken to form a new gov to prevent the country falling into anarchy & to maintain the affairs of the state that have come to a halt.

A PM who commands majority in Parliament & is able to secure the confidence of the people will be appointed within this week.

— Gotabaya Rajapaksa (@GotabayaR) May 12, 2022

ප.ව. 2ට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයන් 13 දෙනෙකුට විදෙස් ගමන් තහනම පනවා ඇත. මේ අතරට මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළත් විය. පස්වරු 3.00ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙත විවෘත ලිපියක් ලියමින් ජනාධිපතිවරයා පූර්ව කොන්දේසි හතරකට, එනම්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු කාල රාමුවකට එකඟ වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය වහාම යළි ස්ථාපිත කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා 21 වැනි සංශෝධනයක් නීතිගත කිරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දිනයකට එකඟ වීම යන ඒවාට එකඟ වන්නේ නම් අගමැති ධූරය භාර ගැනීමට තමන් සූදානම් බව කියා සිටියි.

පස්වරු 6:30: රනිල් වික්‍රමසිංහ, නැවතත්, අගමැති ලෙස දිවුරුම් දෙයි. ඔහු ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අගමැති ලෙස දිවුරුම් දීමේ වාර්තාවට හිමිකම් කියයි - මේ දක්වා හය වතාවක්. [3]

ඡායාරූපය: Shahdia Jamaldeen

හානි

මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතාකරුවන් කිහිප දෙනෙකුට වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය. ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) වෛද්‍යවරයෙකු සහ අභ්‍යාසලාභී වෛද්‍යවරයෙකු Watchdog වෙත පැවසුවේ විරෝධතා ස්ථානවල දී තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම වැළැක්වීම සඳහා ඉහළ නියෝග මත හදිසි අනතුරු සේවා ඒකකයට ඇතුළුවීම වසා දමා තිබූ බවයි. එවිට රෝහල තුළ සිටි කාර්ය මණ්ඩලය විරෝධතාවය දක්වමින් පාරට බැස ඇති අතර පසුව විරෝධතාකරුවන්ව රෝහල් ගත කෙරී තිබිණි.

ප්‍රහාරවලින් පසු 232 ක් රෝහල් ගත කෙරී තිබුණු අතර ඉන් 217 දෙනෙකු ජාතික රෝහලේ දී ප්‍රතිකාර ලබා තිබිණි.

  • හිස පිටුපසට දැඩි පහරක් වැදී තිබූ අනුරංග ශල්‍යකර්මයකට භාජනය කර සුවය ලබමින් සිටිය ද ඔහුගේ වම් අත තවදුරටත් අප්‍රාණික වී පවතී.
  • රාජපක්ෂ හිතවාදී ආධාරකරුවන් විසින් බිම දිගේ ඇදගෙන යනු ලැබූ විශ්වට ප්‍රතිකාර කළ අතර ඔහු නැවතත් විරෝධතා භූමියට පැමිණ සිටී.
  • ප්‍රහාරයට ලක්ව කැමරා උපකරණ විනාශ කරනු ලැබූ ඡායාරූප ශිල්පියෙකු වන අකිල ද භෞතචික්තිසාවන් සමඟ සුවය ලබමින් සිටී.

අපට නිශ්චිතව දැනගැනීමට හැකි වූ විරෝධතාකරුවන් කිහිප දෙනෙකුගේ සිදුවීම් මේවා වුවද තවත් බොහෝ දෙනෙකු ප්‍රතිකාර ලබා නැවත ගාලු මුවදොරට පැමිණ සිටී.

පොලිස් වාර්තාවට අනුව මැයි 10 වැනිදා වන විට වාහන 88ක් සහ නිවාස 103කට හානි කර හෝ ගිනි තබා හෝ ඇත.

අට දෙනෙකුට ජීවිත අහිමි විය:

  1. අමරකීර්ති අතුකෝරල - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වේ. ඔහු නිට්ටඹුවේදී ඔහුගේ මෝටර් රථය අවහිර කළ පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල කළ බව වාර්තා වේ. පසුව අසල ගොඩනැඟිල්ලක සැඟවීමට උත්සාහ ගන්නා ලදුව මියගොස් සිටිය දී සොයා ගන්නා ලදි.
  2. අමරකීර්ති අතුකෝරලගේ ආරක්ෂකයා වූ පොලිස් සැරයන් අහංගම විතාරණලාගේ ජයත්ත ගුණවර්ධන.
  3. හර්ෂ නදීෂාන් ජයවීර - නිට්ටඹුව වෙඩි තැබීමෙන් තුවාල ලබා පසුව මිය යන ලදි.
  4. ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. වී. සරත් කුමාර - ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් පසුව මිය ගියේය.
  5. මොහොමඩ් නෆායිස් - වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ නිවස අසල වෙඩි තැබීමකින් මිය යන ලදි.
  6. සුගත් ජානක - වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ නිවස අසල වෙඩි තැබීමකින් මිය යන ලදි.
  7. අරලියගහ මන්දිරයේ සිටි උප පොලිස් පරීක්ෂක - අරලියගහ මන්දිරය ඉදිරිපිට රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට උත්සාහ කිරීමේදී කඳුළු ගෑස් විදිනයක් පිපිරී හෘදයාබාධයකින් මිය යන ලදි.
  8. ප්‍රියන්ත කුමාර - මීගමුවේ ප්‍රධාන පෙළේ හෝටලයකට සිදු වූ ප්‍රහාරයකින් මිය යන ලදි.

මෙම ලිපියට භාවිත කළ දර්ශන සහ මූලාශ්‍ර අයිති සියලුදෙනාටම අපි ස්තූති කිරීමට කැමැත්තෙමු: විශේෂයෙන්ම Daily Mirror සහ NewsWire මාධ්‍යවේදීන් සහ ට්විටර්හි #AttackOnGGG හෑෂ්ටෑගය භාවිත කරමින් මෙම තොරතුරු වාර්තා කළ, අපව ටැග් කළ සහ වෙනත් ආකාරයකින් මෙම තොරතුරු සොයාගැනීමට උපකාර කළ සියලුදෙනා මෙයට අයත් වේ. මෙම සිදුවීමේ වේගවත් ලේඛනගත කිරීම මෙම කාර්යය සඳහා ඉතා වැදගත් වූ අතර, දේශපාලඥයින් ප්‍රසිද්ධියේ හඳුනාගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

අප භාවිත කළ අන්තර්ගතයන්ගේ මූලාශ්‍ර නම් කිරීමට අපගේ උපරිම උත්සාහය දරා ඇත - සමහර දර්ශන මුලින්ම පටිගත කළේ කවුරුන් ද යන්න තහවුරු කරගැනීමට අපට නොහැකි වීම හේතුවෙන්, ඒවායේ මූලාශ්‍ර දැක්වීමට නොහැකිව ඇත. සෑම අවස්ථාවක දී ම, අප මූලාශ්‍ර කිහිපයක් පරීක්ෂා කොට දර්ශන නිවැරදි යැයි තහවුරු කරගෙන ඇත; අපි ඒවායින් පැහැදිලිම ඒවා ඔබට ඉදිරිපත් කිරීමට තෝරා ගත්තෙමු. සෑම විටම පවසන පරිදි, අපගේ වචනය විතරක් පිළිගන්න එපා: ඉදිරිපත් කර ඇති සාක්ෂි පරීක්ෂා කර බලා කාලරාමුව නිවැරදි දැයි තහවුරු කරගන්න. ක්ෂේත්‍රයෙන් ලබාගත් විශ්මයජනක ලෙස පැහැදිලි පින්තූර කට්ටලයක් දැකගැනීම සඳහා දිනුක ලියනවත්තගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම follow කරන ලෙස නිර්දේශ කරමු.

පාද සටහන්

[1] නසීර් අහමඩ් සහ ඒ. එස්. රහීම් යන දෙදෙනාම හරියට බැලුවහොත් විපක්ෂයේ සාමාජිකයින් ය; කෙසේ වෙතත්, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබාදීමට ඔවුන් දෙදෙනාම ප්‍රයෝජනවත් විය.

[2] සියලුදෙනාම මෙම මාධ්‍ය හමුව නරඹන්න යැයි අපි නිර්දේශ කරමු. එය අද තත්ත්වය පිළිබඳව ඉතා හොඳ පැහැදිලි කිරීමක්. මෙන්න එය සම්පුර්ණයෙන්:

[3] 2020 මහ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය (එජාප) දිවයින පුරා රැස් කර ගත්තේ ඡන්ද 249,435 (2.15%) පමණි. වික්‍රමසිංහ තරඟ කළ කොළඹ දිස්ත්‍රික්කයෙන් එජාපයට ලැබුණේ ඡන්ද 30,875ක් (2.61%) පමණි; දිස්ත්‍රික්කය තුළ එක ආසනයක්වත් දිනා ගැනීමට පක්ෂ ඉතිහාසයේ පළමු වතාවට එය අසමත් විය.

මැතිවරණයෙන් වසරකට පමණ පසු 2021 ජූනි මාසයේදී පක්ෂය අවසානයේ පරාජිත වික්‍රමසිංහව එජාපයට පාර්ලිමේන්තුවේ හිමිව තිබු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නම් කරන ලදි.

දීර්ඝ කතාව කෙටියෙන් කිවහොත් වික්‍රමසිංහට ජනවරමක් නැත. පසුගිය මාසය පුරාවට ගාලු මුවදොර සහ රට පුරා වෙනත් ස්ථානවල දහස් ගණන් ජනතාව ඔහුට ඉවත් වීමට බලකරමින් උද්ඝෝෂණ කළද ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ජනාධිපති ධූරයේ රැඳී සිටීමට ඉඩ දෙන තත්ත්වයක් තුළ ඔහු අගමැති ධූරය බාරගෙන ඇති නිසා දැන් කිසිසේත්ම ජනවරමක් නැත.