Analysis
විශේෂ භාණ්ඩ හා සේවා බද්ද සහ අධිභාර බද්ද යනු කුමක්ද?
Mar 30, 2022
මෙම ලිපිය විශේෂ භාණ්ඩ හා සේවා බද්ද මෙන්ම අධිභාර බදු පනත් කෙටුම්පතේ සාරාංශයකි.

බදු පිළිබඳව: අප සතුව දැන් විශේෂ භාණ්ඩ හා සේවා බදු (SGST) පනත් කෙටුම්පත සහ අධිභාර බදු පනත් කෙටුම්පත ඇත. ඒවායින් එකක් මෑතක දී ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රතික්ෂේප වූ නමුදු අනෙක දැනටත් ක්‍රියාත්මකව පවතී. මේ ඒ සියල්ල පිළිබඳව කෙටි හැඳින්වීමකි.

මෙම වසර ආරම්භයේ දී රජය බදු ආදායම වැඩි කර ගැනීමේ අරමුණින් නව බදු නීති දෙකක් ප්‍රකාශයට පත් කරන ලදි.

මියගිය බද්ද: විශේෂ භාණ්ඩ හා සේවා බද්ද

ජීවතුන් අතර ඇති බද්ද: අධිභාර බද්ද

මෙම බදුවලින් බලපෑමක් වන්නේ කාහට ද?

මෙම බදු වෙනස් කිරීම් ශ්‍රී ලංකාව වහාම ආමන්ත්‍රණය කළ යුතු විශාල ආර්ථික ගැටලුවක ඇඟවුමකි - එනම්, ශ්‍රී ලංකා රජය විසින් රැස් කරන බදු ආදායම ප්‍රමාණවත් නොවීමයි. 1990 ගණන්වල මුල් භාගයේ සිට ශ්‍රී ලංකාවේ බදු සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය සැලකිය යුතු ලෙස පහත වැටුණු අතර එය රජයට තව තවත් ණය ගැනීමට බල කිරීම හේතුවෙන් දිනෙන් දින වර්ධනය වන ණය කන්දරාවක් ඇති විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ බදු සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය ලෝකයේ අඩුම එකක් වන අතර, එය වත්මන් ආර්ථික අර්බුදයේ මූල හේතුවලින් එකකි.

තරමක් පුළුල් ලෙස කතා කළහොත්, මෙරට දීර්ඝ කාලීන බදු ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා කරුණු තුනක් අවශ්‍ය වේ:

  1. ආදායම් බදු අනුපාත වැඩි කිරීම
  2. බදු දැල පුළුල් කිරීම (බදු ගෙවන පුද්ගලයින් සංඛ්‍යාව වැඩි කිරීම)
  3. අඩු ආදායම්ලාභීන් මත පනවා ඇති බදු බර අඩු කිරීම

මීට අමතරව, බදු ප්‍රතිසංස්කරණවලින් බලපෑමක් වීමට නම් ඒවා නිතර වෙනස් නොකළ යුතුය - නමුත් එවකට අලුතින් තේරී පත් වූ රජය 2019 දී 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළ විට සිදු වූයේ ද එයයි.

අප සතුව දැන් විශේෂ භාණ්ඩ හා සේවා බදු (SGST) පනත් කෙටුම්පත සහ අධිභාර බදු පනත් කෙටුම්පත ඇත. ඒවායින් එකක් මෑතක දී ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රතික්ෂේප වූ නමුත් අනෙක දැනටත් ක්‍රියාත්මකව පවතී. මේ ඒ සියල්ල පිළිබඳව කෙටි හැඳින්වීමකි.

මියගිය බද්ද: විශේෂ භාණ්ඩ හා සේවා බද්ද

2021 අයවැය හරහා විශේෂ භාණ්ඩ හා සේවා බද්ද (SGST) යෝජනා කරන ලද අතර අගමැති මහින්ද රාජපක්ෂ (එවකට මුදල් අමාත්‍යවරයා) විසින් එය ඉදිරිපත් කරන ලදි. භාණ්ඩ හා සේවා ගණනාවක් මත පනවා තිබූ බදු කිහිපයක් ඒකාබද්ධ කිරීම මෙම බද්දේ අරමුණ විය. [1]

කෙසේ වෙතත්, මෙම නීතිය 2021 දී ක්‍රියාත්මක නොවීය. 2022 අයවැය කතාවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ 2022 ජනවාරි මාසයේ සිට SGST ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව SGST බිල්පත ජනවාරි 07 වැනි දින ගැසට් කරන ලදි.

එය බොහෝ දුරට මුල් අයවැය කියවීම පොරොන්දු වූ දෑම සිදු කරයි: එනම් මත්පැන්, දුම්වැටි, වාහන, විදුලි සංදේශ සේවා, ඔට්ටු ඇල්ලීම් සහ සූදු මත පනවා තිබූ බදු කිහිපයක් ඒකාබද්ධ කිරීමයි.

දැනට මෙම කාණ්ඩවලට විවිධ බදු වර්ග අදාළ වේ: උදාහරණයක් ලෙස වාහන රේගු බදු, වරාය සහ සංවර්ධන බදු (PAL), නිෂ්පාදන බදු (Excise Duty) සහ එකතු කළ අගය මත බදුවලට (VAT) යටත් වේ; ඒ අතර දුම්වැටි සඳහා 15% ක රේගු බද්දක්, 8% ක වැට් බද්දක්, 165% ක සෙස් බද්දක් (Cess) සහ දිග 72mm ට වැඩි නමුත් 84mm නොඉක්මවන දුම්වැටි 1000 කට රුපියල් 46,600 ක නිෂ්පාදන බද්දක් අදාළ වේ. [2] විවිධ රජයේ අධිකාරීන් මගින් පහත පරිදි මෙම බදු එකතු කෙරේ:

ගාස්තුආදායම් එකතු කිරීමේ අධිකාරිය
රේගු බදුශ්‍රී ලංකා රේගුව
නිෂ්පාදන බදු (දුම්වැටි)ශ්‍රී ලංකා රේගුව
නිෂ්පාදන බදු (වාහන)ශ්‍රී ලංකා රේගුව
නිෂ්පාදන බදු (මත්පැන්)සුරාබදු දෙපාර්තමේන්තුව
සෙස් බදුශ්‍රී ලංකා රේගුව
එකතු කළ අගය මත බදු (VAT) (ආනයන)ශ්‍රී ලංකා රේගුව
එකතු කළ අගය මත බදු (VAT) (දේශීයව නිෂ්පාදනය කළ භාණ්ඩ)දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
වරාය සහ සංවර්ධන බදු (PAL)ශ්‍රී ලංකා රේගුව

මූලාශ්‍ර: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා රේගුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත මත පදනම්ව කර්තෘ විසින් සම්පාදනය කරන ලදි.

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණු දෙකක් විය. එකක් වූයේ බදු ගණනාවක් වෙනුවට තනි බද්දක් පැනවීම වන අතර අනෙක නම් ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා එය අය කිරීම වෙනුවට මුදල් අමාත්‍යාංශයට බදු අය කිරීම සඳහා අවසර දීමයි.

කෙසේ වෙතත් බදු එකතු කිරීම මුදල් අමාත්‍යාංශයේ කාර්යයක් නොවේ. එක් ආයතනයක් බදු එකතු කිරීම අධීක්‍ෂණය කිරීම කාර්යක්‍ෂම ලෙස පෙනුන ද, එය ශ්‍රී ලංකා රේගුවේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ අධිකාරීත්වය හෑල්ලු කරයි. විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක පැහැදිලිවම සඳහන් වන්නේ මහා භාණ්ඩාගාර ලේකම්වරයාට රජයේ දෙපාර්තුමේන්තු සහ අමාත්‍යවරයා යටතේ ඇති අනෙකුත් ආයතනවල අධීක්‍ෂණය පැවරී ඇති බවත්_,_ ඇත්ත වශයෙන්ම ලේකම්වරයා හට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව වැනි රජයේ දෙපාර්තමේන්තුවක් විසින් සිදු කළ යුතු රාජකාරි සහ කාර්යයන් ඉටු කිරීමට බලතල පැවරී නොමැති බවත් ය.

මෙය පදනම් කරගෙන ශ්‍රී ලංකා රේගුවේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් විසින් විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලදි.

පනත් කෙටුම්පතේ ඇති වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදි. වෙනත් වචන වලින් කිවහොත්, මෙම යෝජිත නීතිය දැන් මිය ගොස් ඇත. එය නැවත හඳුන්වා දීමට ඇති ඉඩකඩ ඉතා අඩුය.

ජීවතුන් අතර ඇති බද්ද: අධිභාර බද්ද

2022 අයවැය ද 2022 දී බදු ආදායම වැඩි කර ගැනීමේ අරමුණින් එක් වරක් පමණක් අය කරන බද්දක් යෝජනා කරන ලදි. මෙම බද්ද පනවනු ලැබුවේ 2020/21 කාලය තුළ රුපියල් බිලියන 2 කට අධික බදු අය කළ හැකි අදායමක් (සරල ලෙස පැවසුවහොත් 2020 අප්‍රේල් සහ 2021 මාර්තු තුළ උපයාගත් ලාභය) තිබූ සමාගම්වලිනි. [3]

මෙම බද්ද පනවා ඇත්තේ අතීතයට බලපාන පරිදි වන අතර, එයින් අදහස් වන්නේ දැනටමත් අවසන් වී ඇති කාල සීමාවක් සඳහා අධිභාර බද්දක් ගෙවීමට සමාගම්වලට බල කෙරෙන බවයි. ඇත්ත වශයෙන්ම, සමාගම් දැනටමත් 2020/2021 සඳහා බදු ගෙවා අවසන් අතර මෙම බද්ද පැනවීමෙන් අදහස් වන්නේ 2020/2021 වසර සඳහා අතිරේක බද්දක් ගෙවීමට සිදුවන බවයි (එමනිසා අධිභාර බද්ද ලෙස හැඳින්වේ).

මෙවැනි බදු ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපාන බැවින් ආර්ථිකයට අහිතකර ලෙස සැලකේ. බදු අනුපාතිකයේ ඉහළ යාමක් තිබේ නම් ව්‍යාපාරවලට එයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සැලසුම් කළ හැකි නමුත්, කලින් උපයන ලද ආදායම මත බද්දක් පැනවූ විට එය ව්‍යාපාරවලට කටයුතු කිරීම අපහසු කරයි.

රජය මෙවැනි ක්‍රියාමාර්ගයකට යොමු වූයේ මන්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. සරල පිළිතුර නම් 2019 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මෙම රජයම ඇතැම් බදු විශාල ලෙස අඩු කළ හෝ අහෝසි කළ හෝ බැවින් බදු ආදායම විශාල ලෙස අඩු වූ බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2020 දී ශ්‍රී ලංකාවේ බදු සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 8.4% ක් ලෙස වෙන කවරදාකටත් වඩා අඩු අගයක් වාර්තා කරන ලදි.

මාර්තු 22 වැනි දින පාර්ලිමේන්තුව නිවේදනය කළේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, එය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බවයි.

මෙම බදුවලින් බලපෑමක් වන්නේ කාහට ද?

ඔබ සාමාන්‍ය පුරවැසියෙකු නම්, අධිභාර බද්ද පිළිබඳව ඔබ වද විය යුතු නැත.

Hayleys, LOLC, John Keels Holdings (JKH), Commercial Bank, Sampath Bank, Hatton National Bank, Hemas Holdings සහ Dialog Axiata වැනි විශාල සමාගම් සහ බැංකු හට මෙම අධිභාර බද්ද ගෙවීමට සිදුවේ.

මෙම බද්ද යම් මතභේදයක් ඇති කරන ලදි: සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙහි (ETF) ආදායම කොල්ලකෑමට රජය උත්සාහ කරන බවට විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කළහ.

අධිභාර බදු පනත් කෙටුම්පතේ 'සමාගම' යන යෙදුම අර්ථ දක්වා ඇති පුළුල් ආකාරය මෙම චෝදනා සඳහා නීතිමය පදනමක් සපයන බව අපගේ විශ්ලේෂණය හරහා පෙනී යන ලදි. කෙසේ වෙතත්, විපක්ෂයේ චෝදනා හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමුවීමෙන් අනතුරුව මුදල් අමාත්‍යවරයා පැහැදිලි කළේ EPF, ETF සහ තවත් අරමුදල් නවයක් අධිභාර බද්දට යටත් නොවන බවයි.

පොදුවේ ගත් කල මෙය එතරම් ප්‍රයෝජනවත් දෙයක් නොවේ. ශ්‍රී ලංකාවට පුළුල් හා දිගුකාලීන බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. බදු ප්‍රතිසංස්කරණ යනු අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් පමණක් නොවේ. එය ඉතා විශාල දේශපාලන කැපවීමක් ද වේ. මේ දක්වා බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන කැපවීම් සිදු කර ඇත්තේ ඉතා සුළු වශයෙන් වන අතර, මෙතෙක් අප දුටු කැපවීම් ඉතා කෙටි කාලීන හෝ දුරදක්නා සුළු නොවූ හෝ ඒවා විය.

[1] “දැනට විවිධ ආයතන හා නීතිමය විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන මත්පැන්, සිගරට්, දුරකථන සේවා, සූදු (Gaming), මෝටර් රථ වැනි, මුළු බදු ආදායමෙන් සියයට 50කට වැඩි බදු අදායම් දායකත්වයක් දෙන භාණ්ඩ හා සේවා බදු වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා එක බදු ‍ක්‍රමයක්, online තාක්ෂණය ඔස්සේ  කළමනාකරණය කිරීම සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් (Special Goods and Service Tax) හඳුන්වා දීමට යෝජනා කරනවා. සුරාබදු ආඥා පනත වැනි විශේෂ පනත්, නීති විරෝධී මත්පැන් හා දුම්වැටි වෙළදාම වළක්වා ගැනීමේ නියාමනය ශක්තිමත් කිරීමට හැකි වන පරිදි යොදා ගැනීමෙන් අදායම් මාර්ග ශක්තිමත් කිරීම මෙම ප්‍රතිසංස්කරණයේ තවත් අරමුණක්.” (2021 අයවැය කථාවෙන් ගත් ඍජු උපුටා දැක්වීමක්)

[2] “2020/2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2,000 ට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන සියයට 25 ක අධිභාර බද්දක් අය කිරීමට යෝජනා කරනවා. මෙම බද්ද මගින් රුපියල් බිලියන 100 ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරනවා.” - 2022 අයවැය කථාව, පිටුව 67

[3] John Player Gold Leaf සහ Dunhill යන දෙකම මෙම ගණයට අයත් වේ.